ranil-speaks

කෝච්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකය බිඳ වැටී ඇති මොහොතක ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි වුවහොත් රුපියලේ වටිනාකම තවදුරටත් 'බාල්දවී ඩොලරයකට රුපියල් 300ක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

එමෙන්ම ඒ සමග රැකියා දහස් ගණනක් අහිමි වීමේ අවදානමක් පවතින බවද කී වික්‍රමසිංහ මහතා,මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂක්ෂා කිරීම සඳහා වහාම කටයුතු කරන ලෙසත්, රට විනාශ නොකරන ලෙසත් ඉල්ලා සිටියේය. ඔහු මේ බව සඳහන් කළේ යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට අහිමිවීමට ඇති අවදානම පිළිබඳ ඊයේ (13දා) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට විදේශ විනිමය ගෙන ඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇඟලුම් කර්මාන්තය පමණක් බවත්, එවැනි අවස්ථාවක අපට ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුවහොත් මෙරට දැඩි අසීරු තත්වයකට පත්වන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා, ''යුරෝපා සංගමයෙන් ජී.එස්.පී. ප්ලස් බදු සහනය2017 දී ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට අපේ ආණ්ඩුව කටයුතු කළා. බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගලුම් කර්මාන්තයෙත්, ධීවර කර්මාන්තයෙත් ලොකු දියුණුවක් ඇති වුණා. ලංකාවට ලැබුණු මෙම ජී.එස්.පී. ප්ලස් බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුව තුළ අද ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මෙම සහනය නැතිවනු ඇතැයි අපට අවවාද කරලා තියෙනවා.

කෝවිඩ් වසංගතය හේතුවෙන් අපේ සංචාරක ව්‍යාපාරය මේ අවස්ථාවේ අවදානමකට ලක්වෙලා තිබෙන්නේ. නෞකාවේ ප්‍රශ්නයත් සමග අපේ ධීවර කර්මාන්තයටත් ගැටලු මතු වෙලා. විදේශ රැකියාවලට යන අය අඩු වෙලා. එමනිසා අපේ විදේශ විනිමය පහත වැටිලා.විදේශ විනිමය අඩුවීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගත්තා. මේ වනවිට අපේ ආර්ථිකයට විදේශ විනිමය ගෙන ඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය හා ඇඟලුම් කර්මාන්තය පමණයි. එවැනි අවස්ථාවක අපට ජී.එස්.පී. ප්ලස් බදු සහනයත් අහිමි වුණොත් රුපියල් වටිනාකම බාල්දු වෙලා ඩොලරයකට අපට රුපියල් 300ක පමණ මුදලක් ගෙවන සිදුවේවි.ඒවගේම රැකියා දහස් ගණනක් අහිමි වෙන්නත් පුළුවනි. මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂ කරන්න වහාම රජය කටයුතු කළ යුතුයි. ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කරන්න එපා. රට විනාශ කරන්න එපා කියා මම ආණ්ඩුවට කියනවා" යැයිද සඳහන් කළේය.

(නවෝද්‍යා පවනි)