sangakkara-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අසීරු කාලවල ඉන් ගොඩඒමට කුමාර් සංගක්කාර දැක් වූ දායකත්වය අතිවිශිෂ්ට බවත්, ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය ඔපදැමීමට ඔහුද සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ බවත් ඉන්දීය හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් මහතා පවසයි.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ට ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක් වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා වන කුමාර් සංගක්කාර මහතාට,  ඔහුගේ සිහිවටන හිස් වැසුම ප්‍රධානය කිරීමේ අවස්ථාවට එවෙමින් ගවස්කාර් වැඩිදුරටත් පවසා සිටියේ, මෙය සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ දායකත්වයට ඔහු වෙනුවෙන් ගෙවිය හැකි උපරිම ගෞරවය බවයි.මුත්තයියා මුරලිදරන් ඇතුළු ක්‍රීඩකයන් 103 දෙනෙකු මේ වනවිට ලොව කීර්තිමත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව හෙවත් විශිෂ්ට ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක්ව සිටින අතර, ගවස්කාර් යනු එම ලැයිස්තුවට එක් වූ මුල් පෙළේ සාමාජියෙකු වෙයි.



එංගලන්තයේ සවුටන්හිදී පැවැත්වෙන ඉන්දු - නවසීලත්ත ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයට සමගාමීව සංගක්කාරට ඔහුගේ සිහිවටන හිස්වැස්ම ප්‍රධානය කළේය. මෙහිදී සංගක්කාර පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ගවස්කාර්, "කඩුලු රකින්නෙකු ලෙසත් පිතිකරුවෙකු ලෙසත් සංගක්කාර දැක්වූ දායකත්වය පහසු දෙයක් නෙමෙයි. කවුරුත් ඉස්සරවෙලා පන්දුවට පහරදීලා, පසුව කඩුලු රකින්න යන්න කැමතියි. නමුත් කඩුලු රැකීමෙන් පසුව පන්දුවට පහරදෙන්න යන එක පහසු වැඩක් නෙමෙයි. එසේම දවස් එක හමාරක් විතර කඩුලු රැකීමේ යෙදී, දිගු ඉනිමක් ක්‍රීඩා කරනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වගෙම දකුණු ආසියාවේ තියෙන්නේ ඉතාමත් උෂ්ණාදික දේශගුණයක්. ඒ නිසා දිගු වේලාවක් කඩුලු රැකීමේ යෙදිලා,ඉන් පසුව පන්දුවට පහරදෙන එක පහසු වැඩක් නෙමෙයි. මේ සියල්ලට හේතුව සංගක්කාරගේ කැපවීම, ශාරීරික යෝග්‍යතාව වගේම දරාගැනීමේ හැකියාව. ඒ නිසා ඔහු කළ සියලු කැපවීම්වලට ලොකුම උපහාරය මෙය (ලොව කීර්තිමත් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක්කිරීම).

ඒ වෙනුවෙන් ඔහු සියලු සුදුසුකම් සම්පූර්ණ කර තිබෙන්නේ. ඉන්දියාව මුහුණ දුන් අසීරු කාලවල එහි බර දරමින් කණ්ඩායම ඔසවා තැබූ රාහුල් ඩ්‍රාවිඩි, සචින් තෙන්ඩුර්කාර්, වී.වී.එස්. ලක්ෂ්මන් වැනි අපේ ක්‍රීඩකයන් වගේම ඔබත් කණ්ඩායමට නැගීසිටීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදුන් විශිෂ්ට ක්‍රීඩකයෙක්.” යැයි ගවස්කාර් පවසයි. ටෙස්ට් ලකුණු දසදහස (1987දී) සම්පූර්ණ කළ ලොව පළමු පිතිකරුවා වන ගවස්කාර් පිළිබඳවද අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේ, ගවස්කාර් මහතාගෙන් තමාගේ හිස්වැස්ම ලබා ගැනීමට ලැබීම මහත් ගෞරවයක් බවයි. "මා දුටු ඡුතම ආරම්භක පිතිකරුවෙක් ගවස්කාර්. ඒ වගේ ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුත් ක්‍රීඩකයෙක්. ඉතා භයානක වේගපන්දු යවන්නන් ඉදිරියේ වුවත්, හොදින් පන්දුවට පහරදී ශතක රැස් කළ පිතිකරුවෙක්. ඔහු වැනි ශ්‍රේෂ්ඨයෙකුගෙන් මන්ගේ හිස්වැස්ම ලබාගැනීමට හැකිවීම තරම් ගෞරවයක් තවත් මට නැහැ” යයි සංගක්කාර පවසීය.

2015 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් සංගක්කාර, අදටත් ලොව වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ පිතිකරුවන් අතර 06 වැනි (ලකුණු 12400) ස්ථානයේ පසුවෙයි. ඔහුගේ දක්ෂතා අතර ශතක 38ක් හා අර්ධ ශතක 52ක් ඇතුළත්ව ඇත.මේ අතර මෙම අවස්ථාව මෙහෙයවූ එංගලන්ත හිටපු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ඊසා ගුහාද සංගාව ඉහළින් ප්‍රශංසා කළ අතර, ඇය පවසා සිටියේ තමන් තවමත් සංගාගෙන් බොහෝ දේ ඉගෙන ගනිමින් සිටින බවයි. "අපි ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. ඇදහිය නොහැකි දැනුම. කුමාර් ක්‍රීඩාව ගැන බොහෝ දේ දන්නවා වත්ම,ලෝකයේ පුළුල් කාරණා පිළිබඳ තවත් බොහෝ දේ දන්නවා” යැයි ඇය පවසයි. මෙහිදී ඊසා ගුහා, සංගාගෙන් සිය ක්‍රිකට් දිවියේ වඩාත්ම සිත්ගන්නා සිදුවීම කුමක්දැයි විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් සංගා, "සිහිවටනම් ගොඩක් තිබෙනවා. නමුත් 2014 ලෝක කුසලාන ශූරතාව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඊට කලින් අපට හතර වතාවක්ම ශූරතාව දිනාගැනීමට නොහැකි වුණා.

ඒ හින්දා 2014දී ලැබූ ජයග්‍රහණය ගොඩක් වටිනවා.

තවත් සූවිශේෂී මතක සටහන් බොහොමයක් තිබුණත්, ක්‍රීඩාවන් විශ්‍රාම ගැනීමත් එක්ක ඒවා අපෙන් ඈත්වෙනවා. නමුත්න්මම බොහොම වාසනාවන්තයි. මොකද ක්‍රීඩා පිටියේ ඇතිකරගත් හිතවත්කම් ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ ඈතට ගිහිල්ලත්, තවමත් මා අතරේ පවතිනවා.අපි හැදී වැඩුණේ සුනිල් ගවස්කාර්, ල මයිකල් හෝල්ඩ්, ඉයන් බොතම් වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් දිහා බලමින්. ඔවුන් සමග එකට ඉඳගෙන කතාකරමින් තව තවත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා.”මෙහිදී සංගාගේ කතාවට වැඩියමක් එකතු කරමින් ගවස්කාර් පවසා සිටියේ, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔවුන් ඔහුගෙන් ඉගෙන ගන්නා බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති සම්පාදනයේදී සෘජු දායකත්වයක් ඇති, එවැනි තීරක බලයක් ඇති ලොව එකම ක්‍රිකට් සමාජය වන මාලිබෝල් ක්‍රීඩා සමාජයේ (එම්.සී.සී.) වත්මන් සභාපතිවරයාද කුමාර් සංගක්කාර වේ. වසර 1787දී ආරම්භ කළ එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ වසර දෙසීයකට අධික (මේ වනවිට වසර 234) සම්ප්‍රදාය බිඳ දමමින් පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා ලෙස සංගා මීට වසර දෙකකට පෙර එම ධුරයට තේරිපත් විය.

(සංජීව ධර්මසේන)