shanfrilla-colombo

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ සුපිරි උපන්දින සාදයට එක්වූ තවත් පුද්ගලයන් 6 දෙනකු ඊයේ (01) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


 මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් 5 ක් සහ කාන්තාවක් ද වෙති.
අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ බාගේෂ්වරි මධුෂිකා ගුණසේකර, ප්‍රදීප් ලක්මාල් දේශප්‍රිය, චමල් සුසන්ත, කේ.චතුරංග, කවිඳු පැතුම්, පී.සී. ආරියසිංහ යන අය බව කොටුව පොලිසිය පවසයි.
නිරෝධායන නීතිවලට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔවුන් සියලූදෙනා අලූත්කඬේ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන දෙදෙනා 31 දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
 මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් හඳුනා ගැනීමට පොලිසිය සීසීටීවී දර්ශන නිරීක්ෂණය කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.


 ආරාධිතයන් හෝටලයට ඇතුළුවීමේදී ඔවුන්ගේ නම් සහ හැඳුනුම්පත් අංක සටහන් කරගෙන නැති බවත්, බොහෝ හෝටල්වල ඇතුළුවීමේ ස්ථානයට අමතරව වාහන නතර කරන (බිම් මහලේ) ස්ථානයේ සෝපානය මගින් කෙළින්ම අදාළ කාමරයට යෑමේ හැකියාව ඇති බවත් ඒ ආකාරයෙන් මෙම උපන්දින සාදයට පිරිස පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැකකරන බවත් උසස් නිලධාරියෙක් පැවසීය. එම නිසා සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගෙන කාමරය තුළ සී.සී.ටී.වී. දර්ශන ගලපා පුද්ගලයන් හඳුනා ගැනීමට කළ යුතු බවත් ඔහු පැවසීය.