පසුගිය දිනවල දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සම්බන්ධ අනියත බියක් ඇතිවන ආකාරයේ මැවුණ පුවත පසුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවී ඇති බව මේ වනවිට හඳුනාගන්නට ලැබේ.
උතුරු මුහුදු කලාපයේ හදිසි ආරක්ෂාව තරකිරීමට ඉන්දියාව උත්සාහ දරණ බවට පළ වූ පුවත පසුපස ඇත්තේ ශ්‍රී ලංකා රජය උතුරු මුහුදු සීමාවේ පැරණි බස් රථ ගිල්වීමේ ව්‍යාපෘතියට ප්‍රතිචාර දැක්වීමක් යැයි අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා රජය මෙලෙස බස් රථ ගිල් වූයේ මත්ස්‍ය සම්පතේ බෝවීම වැඩිකිරීමටය.
භාවිතයෙන් ඉවත් කළ බස් රථ හතළිස් දෙකක් මෙරට ජාත්‍යන්තර මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත බෝවීමේ ව්‍යාපෘතිය සඳහා ගිල්ලවා තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ නාවික හමුදාවය.
එම බස් රථ ගිල්වීමත් සමග උතුරු මුහුදු සීමාවට ඉන්දියානු ධීවරයන් අනවසරයෙන් ඇතුළු වී කරගෙන යන මත්ස්‍ය සම්පත සූරාගෙන යෑමේ බ්රොටම් ටෝලින් ක්‍රියාවලියත් නවතින බව පෙනී යාමත් සමග ඉන්දියානු බලධාරීන් උතුරු මුහුදු කලාපයට ත්‍රස්ත තර්ජනයක් පෙන්වා වෙරළාරක්ෂක බලකා යාත්‍රා යෙදීමට සැලසුම් කර ඇතැයි දැනට අනාවරණය වී තිබේ.
දකුණු ඉන්දියානු ප්‍රබල දේශපාලනඥයන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා ඇතුළු ට්‍රෝලර් දහස් ගණනක් එකවර මෙරට මුහුදු කලාපයට ඇතුළු වී බ්රොටම් ට්‍රෝලීන් ක්‍රමයට දැල් මගින් මත්ස්‍ය පැටවුන් ඇතුළු මුහුදු පතුලේ මත්ස්‍ය සම්පතම සූරාගෙන යෑම වසර ගණනක සිට සිදුවිය.
ඉතිරි බස් රථ තිහත් උතුරු සීමාවේ ගිල්වීමෙන් මෙරටට අනවසර ලෙස ඇතුළු වී බ්රොටම් ට්‍රෝලින් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අපහසු බව ඉන්දීය බලධාරීන් අවබෝධ කරගෙන ඇත. ඒත් සමගම හදිසියේ ත්‍රස්ත තර්ජනයක පුවත ප්‍රචාරය වී ඇතැයි මේ වන විට හෙළිකරගෙන තිබේ.
මේ සමගින් ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, චෙන්නායි, රාමේෂ්වරන් ප්‍රදේශවල ආරක්ෂාව තර කළ බවය. ශ්‍රී ලංකාවේ සිට මුහුදු මගින් ඉන්දියාවට පැමිණිය හැකි කණ්ඩායමක් ගැන ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබිණි.
කෙසේ වුවත් මෙරට බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබුණේ මෙය මනෝමූල මෙහෙයුමක් මිස එවැනි තර්ජනයක් අනාවරණය වී නොමැති බවයි.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
0 Comments