sri-lanka-cleans-up-after-massive-container-ship-fire

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගත් එක්ස්පස් පර්ල් නෞකාවන් වෙරළට එවූ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයෝ 2620 දෙනෙක් යොදවනු ලැබ සිටිති. ඒ අනුව.ශ්‍රී ලංකා යුද හමුදාවෙන් 350 දෙනකුද, ගුවන් හමුදාවෙන් 1500දෙනකුද, නාවික හමුදාවෙන් 485 දෙනකු සහ පොලිසියේ සාමාජිකයන් 300 දෙනකුද පිරිසිදු කිරීමේ කටයුතු සඳහා මෙලෙස යොදවා ඇත.

ගිනි ගැනීමට ලක්වූ 'එක්ස්පස් පර්ල්' නැවෙන් නිකුත් වූ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවලට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සමග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ ද එක්ව සිටිති. යුද හමුදා සාමාජිකයන් එකතු කළ වැලි මිශ්‍රිත රසායනික අපද්‍රව්‍ය අඩංගු කටේනර් 25ක් මධ්‍යම පරිසර අධිකාරියට බාරදී ඇති බව යුද හමුදා 14 වන බල සේනාව පවසයි.

නාවික හමුදා සාමාජිකයන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 584ක ප්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරියට බාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

ගුවන් හමුදාව රසායනික අපද්‍රව්‍ය ටොන් 270ක් අඩංගු කන්ටේනර් 09ක් මධ්‍යම පරිසර අධිකාරියට බාරදී තිබූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය. ඉකුත් 25 වැනිදා සිට දින 08ක් තිස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිරිසිදු කිරීම සඳහා හඳුනාගත් ප්‍රදේශ හමුදාවට සහ පොලිසියට බාරදී ඇති බව වාර්තා වේ.ඒ අනුව යුද හමුදාව මීගමුව, හලාවත, මොරටුව සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල මුහුදු තීරයේ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුමට සම්බන්ධ වී සිටි බව යුද හමුදා 14 වන බල ස්නාවේ සේනාංකාධිපති මේර් ජනරාල් සුජී සෙනරත් යාපා මහතා සඳහන් කළේය. මීගමුව වෙරළ තීරය 14 වන සේනාංකයේ 141 බල

සේනාව විසින් ද, හලාවත මුහුදු තීරය 143 වැනි බල සේනාංකය විසින් ද පිරිසිදු කිරීම් කරනු ලබන අතර එම ප්‍රදේශවල කිලෝමීටර් 5ක පමණ ප්‍රදේශයක් මෙලෙස පිරිසිදු කළ බව මේර් ජනරාල්වරයා පැවසීය. ගුවන් හමුදාව සඳහා කටුනායක මුහුදු සීමා ප්‍රදේශයත්, නාවික හමුදාව සඳහා පමුණුගම, උස්වැටකෙයියාව සහ සරක්කුකන්ද ප්‍රදේශයත් වෙන් කර දී තිබිණි. උස්වටකෙයියාව ප්‍රදේශයේ සිට පමුණුගම සරක්කුකන්ද කැපුගොඩ දක්වා කිලෝමීටර් 09ක පමණ දිග වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාවේ බටහිර විධානය විසින් සිදුකරනු ලැබූ බව නාවික හමුදාව සඳහන් කරයි. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම පොලිසියේ සාමාජිකයන්ද මෙම වෙරළ තීරය පිරිසිදු කිරිමේ කටයුතුවලට එක්ව සිටින අතර, උදෑසන 7.00 සිට සවස 4.00 දක්වා ඔවුහු මෙම කාර්යයේ නිරත වෙති.මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට යොමු කර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශේෂිත ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව කටයුතු කළ බව යුද හමුදාව සඳහන් කරයි.

නාවික නෞකා කැලණි අණදෙන නිලධාරී කමාන්ඩර් ඊ.එම්.ඒ. බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ලුතිනන් ඒ.ඩබ්ලිව්.එම්.අයි. විජේකෝන් මහතාගේ අධීක්ෂණයෙන් මෙම මෙහෙයුම සිදුකෙරෙන අතර, නාවික හමුදාවේ ජීවිත ආරක්ෂක සෙබළුන් කණ්ඩායමක් ද ඒ අවට සේවයේ යොදවා ඇත. මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය ලබා දී තිබිණි.මෙම මෙහෙයුම සඳහා පොලිස් සාමාජිකයන් 300 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් මීගමුව මුහුදු සීමාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු සඳහා සහභාගි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ආරක්ෂක අංශ වෙරළ තීරයෙන් ඉවත් කළ අපද්‍රව්‍ය, එනම්, ප්ලාස්ටික් වර්ග සහ පොලිතින් වර්ග සෑදීමට යොදාගන්නා කුඩා ප්ලාස්ටික් බෝල වැනි ද්‍රව්‍ය බෑග්වල ආරක්ෂිතව අසුරා කටේනර් තුළ ගබඩා කර තැබීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.විශාල වශයෙන් ප්ලාස්ටික එක් වී තිබූ ප්‍රදේශවලින් එම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමගම වෙරළ තීරය පිරිසිදු වෙමින් පවතින අතර වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

 (නිමත්ති රණසිංහ)