sri-lanka-cricket-issue

උණුසුම් වාද විවාදවලින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එංගලන්ත තරග සංචාරයට පමණක් සංචාරක කොන්ත්‍රාතුවට (Tour contract) සමාන කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමට එකඟ වී තිබේ. ඒ ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයන් අතර ඊයේ (07දා සවස පැවති උණුසුම් සාකච්ඡාවකින් අනතුරුවය.  මෙම සිදුවීම සිදුව තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක් සඳහා අද (08) දින පිටත්ව යාමට තිබූ පසුබිමක වීම සුවිශේෂීය. කෙසේ වෙතත් ඔවුනට යෝජනා කර තිබූ නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් දැඩි විරෝධතාවක් දක්වා ඇති අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිර්ම එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව සිදු කිර්මට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්  මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ උදෑසන විශේෂ විධායක කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී තීරණය කර ඇත්තේ ක්‍රීඩකයන්ට නව කොන්ත්‍රාත්තුවට අත්සන් කිමට පස්වරු 3.00 දක්වා කල් ලබාදෙන බවත්, ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් අදාළ කොන්ත්‍රාත් අත්සන් තැබීමට අකැමැති වූ ක්‍රීඩකයන් 38 දෙනාට වසර 03ක තරග හනමක් පැනවීමටත්ය.




එමෙන්ම ක්‍රීඩකයන් අදාළ කොන්ත්‍රාත් අත්සන් නොකරන්නේ නම් එළඹෙන එංගලන්ත සංචාරය සඳහා දෙවැනි පෙළ කණ්ඩායමක් සහභාගි කරවීමටත් එහිදී තීරණය කර තිබුණි. නමුත් ගැටලුව වී තිබුණේ දෙවැනි පෙළ කණ්ඩායමක් ජෛව බුබුලක් තුළ නිරෝධායනය කර ක්‍රීඩකයන් තෝරා ගැනීමට ප්‍රමාණවත් කාලයක් පවතින්නේද සහ දෙවැනි පෙළ කණ්ඩායමක් සමග ක්‍රීඩා කිර්මට එංගලන්ත කණ්ඩායම එකඟ වන්නේන්ද යන පිළිබඳවය.  අනතුරුව සිදුවනුයේ දැඩි උද්වේගකර උණුසුම් අවස්ථා කිහිපයකි. මෙහිදී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුට දුරකථන ඇමතුමක් ලබාදෙන ඉහළම පෙළේ ක්‍රිකට් නිලධාරියෙකු මෙම ගැටලුව තනිව සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි දන්වා තිබේ.


 ක්‍රිකට් නිලධාරියා :හෙලෝ, අපිට මේක විසඳ ගන්න ඕන. ඔයා විතරක් එන්න අපිත් සමග සාකච්ඡාවකට.


ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා - ඒ මොකටද සර් මම තනියම එන්නේ. මම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වුණාට මේක මගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේ අසාධාරණ කොන්ත්‍රාත්තුව හැම ක්‍රීඩකයෙක්ටම බලපානවා. ඒත් නිසා මට තනියම සාකච්ඡාවකට එන්න බැහැ. සාකච්ඡාවක් තියෙනවා නම් අපි හැමෝම එකට එනම්.


ක්‍රිකට් නිලධාරීයා : ආ එහෙමද? ඒ කියන්නේ මේ කොන්ත්‍රාත් අත්සන් කරන්නේ නැහැ. මේක අත්සන් නොකළොත් අපි 38 දෙනාවම අවුරුදු 03කට තහනම් කරනවා. බලමු එතකොට ක්‍රිකට් ගහන්නේ කොහොමද කියලා.


ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා - සර්, අපි ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීමක්. ඔය විදිහට තර්ජනය කරනවා නම් අපි කොහොමත් අත්සන් කරන්නේ නැහැ. අපි ඉල්ලුවේ සාධාරණයක්. අපිට ඒ සාධාරණය ඉටු කරන්න. ක්‍රිකට්වලට සල්ලි ලැබෙන්නේ අපි නිසයි. ඒ නිසා මේ ප්‍රශ්නයේදී තර්ජනය කරලා අත්සන් ලබා ගන්න හිතනවා නම් ඒක වෙන්නේ නැහැ කවදාවත්ම. බොහොම ස්තුතියි යනුවෙන් පවසා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා දුරකථනය විසන්ධි කර ඇත. අනතුරුව ක්‍රිකට් බලධාරීන් වහාම ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ ටාජ් හෝටලයට ගොස් ඇත්තේ කෙසේ හෝ ක්‍රීඩකයන්ව මේ සඳහා එකඟ කර ගැනීමේ අභිප්‍රායෙනි.


ටාජ් හෝටලයට පැමිණි ක්‍රිකට්. නිලධාරීන් සහ ක්‍රීඩකයන් අතර මෙම අවස්ථාවේ සිට උණුසුම් වාද විවාද ආරම්භ විය.


ක්‍රිකට් නිලධාරියෙක් :දැන් කාටද කොන්ත්‍රාත් අත්සන් කරන්න බැරි. බැරි නම් කියන අපිට ඕන තරම් ක්‍රීඩකයන් ඉන්නවා එංගලන්ත සංචාරයට යවන්න.


ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්: අපිට සාධාරණයක් කරනකන් අපි කවුරුවත් ඒ කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නේ නැහැ. එවිට සියලුම ක්‍රීඩකයන් එකාවන්ව ඔව්. අපි කවුරුවත් අත්සන් කරන්නේ නැහැ යනුවෙන් පවසයි).




ක්‍රිකට් නිලධාරියා : (තම මතය වෙනස් කරමින් එහෙනම් අපි  මේක සාකච්ඡා කරමු. හැබැයි හවස 03 වෙනකන් විතරයි  වෙලාව තියෙන්නේ. එහෙම බැරී අය ඉන්නවා නම් වහාම දැන්ම මේ හෝටලයෙන් චෙක්-අවුට් වෙලා ගෙදර යන්න පුළුවන්.


තවත් ක්‍රීඩකයෙක් :සර්ලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මේ විදිහට නම් අපි හැමෝම දැන්ම ගෙදර යන්න ලෑස්තියි. (අනතුරුව ක්‍රීඩකයන් වහාම ඔවුන්ගේ කාමරවලට ගොස් බඩු බාහිරාදිය සූදානම් කර ගනිමින් නිවෙස් වෙත යාමට සැරසෙයි)


එවිට, වෙනත් ක්‍රිකට් නිලධාරියෙක් :එහෙම නෙමෙයි, අපිට ඔය කාවවත් අපහසුතාවට පත් කරන්න අවශ්‍ය නැහැ. අපි  මේක කතා කරමු. හරි අපි ඔයාලා ඉල්ලන සියලුම දේවල් කරලා දෙන්නම්. ඔයාලට එම ක්‍රමවේද, ලකුණු බලන්න අවශ්‍ය නම් අපි ඒවත් පෙන්නන්නම්. අඩුම ගානේ එංගලන්ත සංචාරයටවත් තරග කොන්ත්‍රාත්තුව අත්සන් කරන්න.


තවත් ජ්‍යෙෂ්ඨයකයෙක් : අපි කවුරුවත් සල්ලිවලට ක්‍රිකට් ගහන්නේ නැහැ. අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ. අපි. එංගලන්ත සංචාරය යන්න බැහැ කියලා නැහැ. අපි ඉල්ලුවේ මේ අසාධාරණ කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවයකින් තොර කරුණුවලට විසඳුම් පමණයි.


තවත් ක්‍රිකට් නිලධාරියෙක් : එහෙනම් ප්‍රශ්නයක් නෑනේ. එංගලන්ත සංචාරයට පමණක් කොන්ත්‍රාත්තුව අත්සන් කරලා එංගලන්ත සංචාරයෙන් අනතුරුව අපි මේක විසඳලා දෙන්නම්.


එවිට සියලුම ක්‍රීඩකයන්: එංගලන්ත සංචාරයට පමණක් තරග කොන්ත්‍රාත්තුවක් අපි අත්සන් කරන්නම්. හැබැයි සංචාරයෙන් පස්සේ අපිට අපි ඉල්ලපු දේවල් ඕන්නේ. ඒ වගේම අපිට බලන්න ඕන එංගලන්ත සංචාරේ දෙන කොන්ත්‍රාත්තුව මොකක්ද කියලත්.  ඒ අනුව තාවකාලික විසඳුමකින් පමණක් සෑහීමකට පත්ව එම ගැටලුව අළු යට ගිනි මෙන් නිමාවට පත්ව ඇත. එහෙත් මීට විසඳුමක්  නොලැබුණහොත් බුර බුරා ගිනි දළු පිටවන තත්ත්වයට මෙම කොන්ත්‍රාත් ගැටලුව නුදුරු අනාගතයේදීම පන්වනු ඇති බව නම් නිසැකය.


කොන්ත්‍රාත් පිරිනැමීමේදී ක්‍රීඩක වර්ගීකරණයේ ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳ මතුව  ඇති ප්‍රශ්නකාරී තත්වය හේතුවෙන් වාර්ෂික සහ සංචාර කොන්ත්‍රාත්තු අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පියවර ගෙන තිබුණි. එකී නව ක්‍රීඩක වර්ගීකරණයේ පවතින විනිවිදභාවය පිළිබඳ ගැටලුවලට පිළියම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් වීම හේතුවෙන් එම ගිවිසුම් අත්සන් නොකිරීමට ක්‍රීඩකයන් තීරණය කර තිබුණි. ක්‍රීඩකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ ක්‍රීඩක වර්ගීකරණය සහ ලකුණු ලබාදුන් මුල් පිටපත් ඔවුනට පිරික්සීමට අවශ්‍ය බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත්ය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙම ගැටලුව සාකච්ඡා කිරීමට තම නියෝජිත ලෙස නීතිඥ නිශාන් සිඩිනි ප්‍රේමකීරන්න මහතා පත් කර තිබුණු අතර, ක්‍රීඩකයන් වෙනුවෙන් හෙතෙම  පසුගියදා (05දා) නිවේදනයක් නිකුත් කරමින් ඉහත කරුණු අනාවරණය කර තිබුණි.




එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනුයේ දක්ෂතාව සහ ශාරීරික යෝග්‍යතාව මත පමණක් පදනම් වූ ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් සපුරා එකඟ නමුත්, මේ වනවිට ඉදිරිපත් කර ඇති ආකාරයේ කිසිදු විනිවිද භාවයකින් තොර, දක්ෂතා හා ශාරීරික යෝග්‍යතාව හැර වෙනත් තාත්වික නොවන, පදනම් විරහිත කරුණු මත ක්‍රිකට් ක්‍රීඩකයන් වර්ගීකරණය කරන ආකාරයේ ගිවිසුම්වලට ක්‍රීඩකයන් විරුද්ධ බවයි.  ඒ අනුව එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයන් ඊට අදාළ සංචාර ගිවිසුම් අත්සන් නොකිර්මට තීරණය කර තිබුණි. එමෙන්ම ඉදිරියේදී කිසිදු සංචාර ගිවිසුමකට ඇතුළත් නොවීමටත්  තීරණය කර ඇති බව අදාළ නිවේදනයේ දක්වා තිබුණි.  මීට අමතරව මීට පෙර වර්ෂවල දක්ෂතා දක්වා ඇති එහෙත් වාර්ෂික ගිවිසුම් ලබා  නොදුන් ක්‍රීඩකයන් පිළිබඳවද සලකා බලා සාධාරණයක් ඉටු කරන තෙක් සාමූහිකව මෙම ගිවිසුම්වලට අත්සන් නොකිර්මට ක්‍රීඩකයන් තීරණය කර ඇති බවද අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.


 කෙසේ වෙතත් විනිවිදභාවයේ ගැටලු මත ගිවිසුම් අත්සන් නොකිර්මට ක්‍රීඩකයන් තීරණය කර ඇතත්, ඉදිරි තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් ඕනෑම අවස්ථාවක සුදානමින් සිටින බවද එහි සඳහන් වේ. මෙහිදී ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 38 දෙනෙකු ගිවිසුම් අත්සන් නොකිර්මට කටයුතු කර ඇති අතර, වත්මන් එක්දින ක්‍රිකට් නායක කුසල් පෙරේරා සහ උපනායක කුසල් මෙන්ඩිස්ද ඊට ඇතුළත්ව ඇත. මෙම ක්‍රීඩකයන් 38 දෙනා වෙනුවෙන් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමකීරත්න මහතා එම නිවේදනය යොමු කර තිබුණි.


 පැතුම් ශ්‍රී විජේරත්න