wasudeva-message

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට ජල සම්පාදන අමාත්‍යාංශ
අධ්‍යක්ෂ (මාධ්‍ය)  මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර  මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

අද දින සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි මගින් ප්‍රසිද්ධ කර ඇති පරිදි “වාසුට හෘදයාබාධයක්, ආසධ්‍යව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ” යන ප්‍රවෘත්තිය ද්වේශ සහගතව ආණ්ඩු විරෝධීව නිර්මාණය කර ප්‍රසිද්ධ කරන ලද සාවද්‍ය ප්‍රකාශයක් වන බව ඔහු දන්වා තිබේ.


2021.06.24 වන දින සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා කොළඹ රෝහලක නේවාසිකව සිටිමට අමාත්‍යවරයාට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණ බවත්
ඒ අනුව රෝහල් ගත වූ අමාත්‍යතුමා අදාල පරීක්ෂණ කටයුතු නිම වන තෙක් විවේකීව පසුවන බවත් දන්වා ඇත.

වර්ෂ 1970 දී කිරිඇල්ල ආසනයෙන් තේරී පත්වී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඉඩකඩ විවෘත කරගත් මෙතුමන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් අවස්ථා ගණනාවකදීම මහජන ඡන්දයෙන් තේරී පත් වී ඇත. මෙතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කිසිදිනෙක පත් නොවු අයෙකි. එසේ තිබියදීත් ජනතාව නොමඟ යැවීම සඳහා  සාවද්‍ය ද්වේෂ සහගත තොරතුරු රැසක් මෙම වෙබ් අඩවි මඟින් ප්‍රකාශයට පත් කර තිබීම කණගාටුවට කරුණක් යයිද දන්වා ඇත.

අදාල සෞඛ්‍ය පරීක්ෂණ වලින් අනතුරුව හෙට දිනයේ දී වාසුදේව අමාත්‍යතුමා රෝහලින් නික්ම යෑමට නියමිතය.