15-girl-abuse-updates

අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳව ද තොරතුරු හෙළිවී ඇති අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් ආරවි මාර්ග සඳහන් කරයි.  ඔවුන් අතර පොලීසියේ විවිධ නිලතල දරන අය ද සිටීන බවත්, දැරියගේ ජංගම දුරකතනයේ වට්ස් ඇප් පණිවිඩ පරීක්ෂා කිරීමෙන් සිදුකරන ලද විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී ඇති බවත්, එම ආරංචි මාර්ග පවසයි.   මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස, පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයකු වන ප්‍රභාත් නන්දන කොඩිතුවක්කු නමැත්තකු ළමා හා කාතා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.


අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ බාලවයස්කාර දැරිය විකිණීම පිළිබඳව දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවියක හිමිකරුවකු දැරිය මුදලට විකුණු බව කියන බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක කළමනාකරුවකු ඇතුළු සැකකරුවෝ තිදෙනෙක්ද පොලීසිය විසින් ඊයේ (08) අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අනුව, බාලවයස්කාර දැරිය අපයෝජනය කිරිම් සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකරුවෝ 37 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.  බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සඳහා ලබා දෙන බවට සඳහන් දැන්වීමක් පළ කළ 'රෙඩ් රෝස් ඩොට් කොම්” නමැති වෙබ් අඩවියේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල ප්‍රදේශයෙනි.


බාලවයස්කාර දැරිය ‘කුටනය' කිරීමට ආධාර අනුබල දුන් බවට බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ  හෝටලයක කළමනාකරුවක් සහ දැරිය මුදලට විකුණු තවත් සැකකරුවෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (08) පස්වරුවේදී අත්අඩංගුවට ගනු ලැබූහ.  පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයේ කළමනාකාරවරයා දැරිය කිහිප  අවස්ථාවකම මුදලට විකුණා ඇති අතර අදාළ හෝටලය තුළ ලැගුම් ගැනීමට  ද ඉඩ පහසුකම් සලසා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරයි.




හතළිස් පස් හැවිරිදි මෙම හෝටල්  කළමනාකාරවරයා දැරිය විකුණා මුදල් ලබාගෙන ඇත්තේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන 'රජීව්' නමැත්තාගේ අනුදැනුම මත බවට ද කරුණු හෙළිවී  ඇතැයි සඳහන් වෙයි. ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට  ගනු ලැබූ අනෙක් සැකකරු තිස් දෙහැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයකු වන අතර, මෙම සැකකරු ද දැරිය මුදලට විකිණීමේ ක්‍රියාවලියට සක්‍රීයව දායක වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන්ම ළමා හා කාන්තා කාර්යාංශයට තොරතුරු හෙළිවී ඇත්තේ, දැරියගේ ජංගම දුරකතනයේ ඔවුන්ගේ ජංගම දුරකතන අංක සහ ඡායාරූප කිහිපයක් අන්තර්ගතව තිබීම හේතුවෙන් බවද පොලිසිය පවසයි.


"රෙඩ් රෝස් ඩොට් කොම්” නමැති වෙබ් අඩවියේ හිමිකරු වෙබ් නිර්මාණකරුවකු වන අතර ඔහු අදාළ  වෙබ් අඩවිය ඔස්සේ දැරිය මුදලට විකිණීම සඳහා දැන්වීම් පළකර ඇති බවට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අනුව එම සැකකරු ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන සදහා ළමා හා කාන්තා කාර්යාංශයට බාදීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා පැවසීය.  බාලවයස්කාර දැරිය ලිංගික කර්තව්‍යයන් සඳහා විකිණීමට දැන්වීම් පළ කළ මෙවැනි අන්තර්ජාල වෙබ් අඩවි පහක් පිළිබදව කරුණු අනාවරණය වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ. සේනාරත්න මහතා ඉකුත් (06) අධිකරණයට දැනුම් දුන්නේය.




අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.  මෙම සිද්ධියට අදාළව බාලවයස්කාර දැරිය ලිංගික කටයුතු සදහා විකිණීමට දැන්වීම් පළ කරන ලද "ලංකා-ඇඩ්ස් ඩොට් කොම්" නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමනාකරු වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මාවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලුන්  රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. සිද්ධියට අදාළ විමර්ශන අවසන් වන තුරු මෙම  සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම අධිකරණය ප්‍රතිකේෂ්ප කර තිබේ.  ලිංගික කර්තව්‍යයන් සඳහා දැන්වීම් පළ කළ ලංකා ඇස් ඩොට් කොම් නමැති තවත් වෙබ් අඩවියක සීමිකරු සහ එය පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු අධිකරණය මගින් ඇප මත මුදා හැර ඇත.


-නිමන්ති රණසිංහ-