අන්තර්ජාලය ඔස්සේ අලෙවි වූ, බාල වයස්කාර දැරියට අතවර කළ බවට හඳුනාගෙන ඇති සියලූ සැකකරුවන් ඔවුන්ගේ තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේක්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (07) නියෝග කළාය.  එම සැකකරුවන් සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් වීම, නිදහස ලබාදීමට හේතුවක් නොවන බව කී මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එම කාර්යාංශයට නියම කළාය.  මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අධිකරණය හමුවේ ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.


දැරිය කෘරත්වයට පත්කර කුට්ටනය නම් වරදට ආධාර අනුබල දුන්නැයි දින 11ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි වින්දිත දැරියගේ මව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරිමට ද අධිකරණය නියෝග කළේය.  සැකකාරිය සිය පදිංචිය තහවුරු කළ යුතු අතර, සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවට ද අධිකරණය ඇප කොන්දේසි නියම කරමින් සඳහන් කළේය.




සැකකාරිය තෙමස් ගැබිනියක වීම මෙන්ම, පවතින කොරෝනා තත්වය හේතූවෙන් සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති නියමයන්ට අනුව සැකකාරියට ඇප ලබාදෙන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.  තම සේවාදායිකාව තෙමස් ගැබිනියක වන බැවින් හා බන්ධනාගාරයේ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තත්වයෙන් ඇගේ ගැබට හානියක් සිදුවිය හැකි බැවින් සැකකාරියට ඇප ලබාදෙන ලෙසට සඳහන් කරමින් සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අමිල ඉන්දික මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත්   අධිකරණය සැකකාරියට එලෙස ඇප නියම කළේය. මෙම අතවර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උපසභාපති එදිරිසිංහයන් මුදියන්සේලාගේ ලලිත එදිරිසිංහ, බලංගොඩ ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් මහරුෆ් ,මොහොමඩ් රිෆාන් සහ පියල් ගමගේ යන සැකකරුවෝ බන්ධනාගාරය විසින් අධිකරණයට ඊයේ (7) ඉදිරිපත් කරනු ලැබුහ.


අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගක්තිය ප්‍රකාරව, තමන් සිදුකළ වැරැද්ද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝගයක් ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් පෙරේදා (6) ඉල්ලීම් කළහ. සැකකරුවන් මෙම ප්‍රකාශ ස්වාධීනව මෙන්ම කිසිදු ප්‍රතිලාභයකින් තොරව කළ යුතුව ඇති බැවින්, එය ස්වේච්ඡාවෙන් හා කිසිදු පෙලඹිමකින් තොරව ඉදිරි දිනයේදී ලබාදීමට කටයුතු කරන ලෙස ද අධිකරණය සැකකරුවන්ට දැනුම් දුන්නේය. ඒ අනුව, ලබන 9 වැනිදා හඳුනාගැනීමේ පෙරටටුවකට දින නියම කළ අධිකරණය, එදිනට අදාළ ප්‍රකාශ ලබාදෙන්නේ නම් ඒ සඳහා කටයුතු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට  නියම කළාය.


මෙම සිද්ධියේ පළමු, දෙවැනි, සිව්වැනි සහ අටවැනි සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥවරු  අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.  මෙම බාල වයස්කාර දැරිය සිය පියාගෙන් අතවරයට පත්වූ  බවට ඉකුත් 2013 වසරේදී මීගහවත්ත පොලිසියට පැමිණිල්ලක්  ඉදිරිපත් කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් මහර අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති බවත්, එහිදී මෙම බාල වයස්කාර දැරිය වයස අවුරුදු 8ක දැරියකව සිට ඇති බවට අනාවරණය වන බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.



එම දැරියගේ මව ඒ වනවිට විසි දෙහැවිරිදි වියේ පසු වූ කාන්තාවක වන බවට කරුණු ඉදිරිපත් වී තිබූ අතර, පසුව ඇය විදෙස්ගත වී ඇති බවටත්, වින්දිත දැරියන්ගේ භාරකාරත්වය පරිවාස දෙපාර්තමේන්තුව මගින් ඇගේ මිත්තණියට භාර කර ඇති බවටත් කරුණු හෙළි වී ඇතැයි මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී ප්‍රකාශ කළාය.  එහිදී දැරිය අධීක්ෂණය කිරිම අධිකරණය විසින් පරිවාස නිලධාරින්ට බාර කරනු ලැබ ඇති අතර, පරිවාස දෙපාර්තමේන්තුව මෙම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු කර නොමැති බවට අනාවරණය වන බව ද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.  මෙම සිද්ධියේ අටවැනි සැකකරු, ලංකා ඇඩ් ඩොට් කොම්  ආයතනයට දැන්වීමක් පළ කළ සැකකරු වන අතර, සැකකරු  දැරියගේ වයස අවුරුදු 19ක් ලෙස සඳහන් කරමින් දැරිය කුටනය  කිරීමට අධාර අනුබල දී ඇතැයි ද මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.




 ඒ අනුව, මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් දැරිය  අපයෝජනයට ලක් කළ සමාජ මාධ්‍යයෙන්ම මහජන කැළඹීම් ඇති කළ හැකි බවත්, මෙම වරදේ බරපතළතාව සැලකිල්ලට ගත යුතු බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවගේ ඇප ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ලබන 20 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියම කළාය. සිද්ධියට අදාළ 6 වැනි සැකකාරු කැලණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනම විසින් මෙම දැරිය අවස්ථා තුනකදී එම විහාරයට ගෙන්වාගනු ලැබ ඇති බවටත්, එක් වරකට රුජියල් 20,000ක මුදලක් දැරීයට ලබා දී ඇති බවටත් තොරතුරු අනාවරණය වන බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත.


මෙම සැකකාර හිමිනම තම ජංගම දුරකතනයේ වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ මෙම දැරිය සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවත්, මෙහිදී බාල වයස්කාර දැරිය සමග සම්බන්ධ වූයේ මන්දැයි  විමසීමේදී දුක සැප සොයා බලන්න කතා කළ බව සැකකාර හිමි නම ප්‍රකාශ කළ බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබේ.  මෙම සිද්ධියේ 10 වැනි සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ  කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර, ඔහු රුපියල් ලක්ෂ තුනක මුදලකට දැරිය රැගෙන බණ්ඩාරවෙල සහ නුවරඑළිය ප්‍රදේශවල දින දෙකක් ගත කර ඇති බව ද දහස් ගණන් වියදම් කර දැරියට අවශ්‍ය ඇඳුම් පැලඳුම් ලබා දී ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.



මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු වන මොහොමඩ් අස්මලී, වැලිසර නාවික හමුදා රෝහලේ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් දිමුතු ද සිල්වා යන අය ඇතුළු සැකකරුවන් 34 දෙනකු මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එම සැකකරුවන් අතර චීවරධාරියකු, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීයකු, මැණික් ව්‍යාපාරිකයකු, නැවක කපිතාන්වරයකු, දේශපාලනඥයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු ද ඇතුළු විශේෂ පුද්ගලයන් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.

නිමන්ති රණසිංහ-