15-girl-story-updates

අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප‍්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.



මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.

මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
ලංකා ඇඩ් ඩොට් කොම් වෙබ් අඩවියේ පළවූ දැන්වීමකට අනුව, සැකකාර උප පොලිස් පරික්ෂකවරයා මෙම දැරිය ගෙන්වාගෙන ඇය සමග බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු අනාවරණය කළේය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකාර හිටපු බැංකු කළමනාකාරවරයා දැරිය සමගම බම්බලපිටිය හෝටලයක දිනක් ගත කර ඇත.

සැකකාර හිටපු බැංකු කළමනාකාරවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙම දැරිය සමග කායිකව ඇසුරු නොකළ බවය. ළමා හා කාන්තා කාර්යාංශය මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ගායන ශිල්පියා අන්තර්ජාලය ඔස්සේ පළ වූ දැන්වීමක් මගින් අදාළ බාලවයස්කාර දැරිය හා සම්බන්ධ වී බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



එම‍ සැකකරුට අදාළ හෝටල් කාමරය වෙන්කර දී තිබුණේ රක්ෂිත භාරයේ සිටින එම හෝටලයේ කළමනාකර බව ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම සැකකරු ඉකුත් 09 වැනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ද එම කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, වැලිසර නාවික හමුදා රෝහලේ වෛද්‍යවරයා, මැණික් ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවන් සිවු දෙනකු, එක් අයකුට රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළේ ඉකුත් 09 වැනිදාය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 29 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව, සිද්ධියට අදාළව වින්දිත දැරියගේ මව, කැලණිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් 10 දෙනකු  අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇත.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.