15-The-girl-easily-recognizes-the-ships-captain-and-assistant


ආන්දෝලනයක් ඇති කරමින් විභාග වන 15 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී එකී චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටි අය හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබෙන අතර පෞද්ගලික නැව් සමාගමක නාවික කපිතාන්වරයා සහ සහායක කපිතාන්වරයා වින්දිත දැරිය විසින් ඊයේ (15 දා) හඳුනාගනු ලැබුවාය.


 කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රදීපා ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය හමුවේදී පැවති එම හඳුනාගැනීමේ පෙරට්ටුවේදී වින්දිත දැරිය විසින් එම සැකකරුවන් දෙදෙනා ඉතා පහසුවෙන් හඳුනාගෙන තිබිණි. එලෙස හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් බව ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු අධිකරණයට දැන්වූහ.
 එකී කරුණු සහ එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ චාන්දන ලියනගේ සහ නීතිඥ ඉන්දික අතුරලිය යන මහත්වරුන් කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය දැඩි ඇප කොන්දේසි පනවා ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කළාය.
 එක් අයකුට රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වූ ශරීර ඇප නියම කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඇප ලබා ගැනීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ ළමා හා කාන්තා කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙසට ද ඇප කොන්දේසියක් පනවනු ලැබුවාය. ඉදිරි විමර්ශනවලට හෝ පැමිණිල්ලේ සාක්‍ෂිවලට අහිතකර අන්දමින් යම්කිසි බලපෑමක් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන බවට ද අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය එහිදී එම සැකකරුවන්ට අවවාද කළාය.

 සැකකරුවන් දෙදෙනාට ඇප නියම කළ අධිකරණය සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසට ද නියම කළේය. පැමිණිල්ලේ විමර්ශන සඳහා කිසි විටකවත් මැදිහත් නොවිය යුතු බවට සැකකරුවන්ට නියම කළ අධිකරණය, පැමිණිල්ලට බාධා වන අයුරින් හැසිරුණ බවට පැමිණිල්ලක් ලදහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද සඳහන් කළේය.

අධිකරණය විසින් මෙලෙස ඇප දෙනු ලැබුවේ මෙම සිද්ධියේ 14 වැනි සැකකරු වන සුසන්ත බණ්ඩාර සහ 15 වැනි සැකකරු වන අකිල කාවින්ද යන අයවලුන්ටය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත් දැරියගේ සාක්ෂි මත තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

 ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ සැකකරුවන් සම්බන්ධයෙන් වැරදි නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් ඇති අතර මේ හේතුවෙන් මහජන කැළඹීම් හා ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවය. නීතියට පටහැනි අසත්‍ය කරුණු මත මහජනයා කැළඹීම සම්බන්ධයෙන් අධිකරණයට කරන්නට දෙයක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය අසත්‍ය කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දුන්නාය.