ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියකින් පසු පොලුවලින් පහර දී පුතා ඝාතනය කළැයි හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මියගිය පුතාගේ මව, පියා,  නැගණිය සහ මස්සිනා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් ප්‍රියංකර මහතා ඊයේ (11) නියෝග කළේය. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඝාතනයට ලක්වූ සුනිල් නිශ්ශංක නමැති 28 හැවිරිදි තරුණයාගේ පියා වන 61 හැවිරිදි ඒ.ජේ. නිශ්ශංක, මව වන 53 හැවිරිදි බී.ඩබ්ලිව්.ජී. විජිත මල්ලිකා, නැගණිය වන 24 හැවිරිදි ඒ.ජී. සංජීවනී නිශ්ශංක සහ ඇගේ සැමියා වන 27 හැවිරිදි ඩබ්ලිව්.ඒ. සුදේශ් ඉන්දික නමැත්තෝය.


මෙම මරණය පොලුවලින් පහර දී ශරිරයේ අස්ථිවලට හානි වී අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට ලේ ගැලීමක් සිදු වූ මරණයක් බව, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදීර මහතා දුන් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇතැයි  හසලක පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.  ඉඩම් ආරවුලක් මත ඉකුත් 6 වැනිදා ඇති වූ මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලබා  රෝහල්ගත කිරිමෙන් පසු, ඉකුත් 8 වැනිදා  මරණයට පත්ව ඇත්තේ හසලක, 7 ඇළ, අංක 343 ලිපිනයේ පදිංචිව සිටි  ඇල්ලේපිටගෙදර සුනිල් නිශ්ශංක නමැති 28 හැවිරිදි දෙදරු පියකු බවට හසලක පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සහ මරණකරු එකම ඉඩමක වෙන් වෙන් නිවාස ඉදි කරගනිමින් පදිංචිව සිටින බවත්, මියගිය තරුණයා ඔහුගේ නැගණියගේ නිවසට සිද්ධිය වූ දින සවස 7.00ට පමණ ගොස්  පුටුවක වාඩි වී සිටි පියාට පහර දීමට උත්සාහ ගෙන ඇති බවත් පොලිසිය  අධිකරණයට දැනුම් දී ඇත. එහිදී නිවෙසේ තේ කෝප්පයක් ද අතැතිව පැමිණෙමින් සිට ඇති සැකකාර නැගණිය “තාත්තාට ගහනවෝ" යැයි කෑ ගසමින් ඇගේ අතේ තිබු උණු තේ කෝප්පයෙන් මරණකරුට දමා ගසා ඇති බවටත්,

එහිදී මරණයට පත් තරුණයා පියා අතහැර නැගණියට පහරදීමට සැරැසී ඇති බවටත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.



නිවසේ සිටි මරණකරුගේ මව, පියා, නැගණිය සහ මස්සිනා පොලුවලින් තරුණයාට පහර දී ඇති අතර, මරණකරු එම ප්‍රහාරයත් සමග පාර දිගේ දුවගොස් ඇති බවත්, එහිදී පාර අසල පුද්ගලයකු වැටී සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මරණකරු රෝහල්ගත කරනු ලැබූ බවත්  නිවසේ සිටි මරණකරුගේ මව, පියා, නැගණිය සහ මස්සිනා පොලුවලින් තරුණයාට පහර දී ඇති අතර, මරණකරු එම ප්‍රහාරයත් සමග පාර දිගේ දුවගොස් ඇති බවත්, එහිදී පාර අසල පුද්ගලයකු වැටී සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මරණකරු රෝහල්ගත කරනු ලැබූ බවත්  පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.



පොලිසිය තුවාලකරු මුලින්ම හසලක රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර  ඒ අනුව, මෙම සිද්ධියට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වගන්තිය ප්‍රකාරව, සැකකාර පවුලේ අයවලුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව ද හසලක පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සැකකරුවන් ලබන 19 වැනිදා   තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

 -හසලක සුනිල් ඉහළගෙදර-