බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන් වන විලියම් සහ හැරී අතර පසුගිය කාලයේ පැවතියා වූ මතභේද පසෙකට දමා ඔවුන්ගේ මියගිය ආදරණිය මව ඩයනා වෙනුවෙන් යළි එකතුවී තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.  ඒ මියගිය ඩයනාගේ 60 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් ඇගේ පිළිරුවක් නිරාවරණය කළ අවස්ථාවට එක්වෙමිනි.ඇගේ කලින් නිවස වූ

මධ්‍යම ලන්ඩනයේ කෙන්සිංටන් මාලිගයේ සන්කන් වත්තෙහි මෙම පිළිරුව පිහිටුවන ලදි. අසරණ දරුවන්ට පිහිටවූ කාන්තාවක වශයෙන් ප්‍රසිද්ධවූ ඩයනා සමග දරුවෙකු හා දැරියක නිරූපණය කරන මූර්තිද අඹා තිබේ.
ඩයනාට ගෞරව දැක්වීම සඳහා ඔවුන් විසින් පිහිටුවන ලද ලෝකඩ ප්‍රතිමාව ඇයගේ කාර්යයේ විශ්වීයත්වය සහ පරම්පරාගත බලපෑම නියෝජනය කරන බව මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.



"අද අපේ මවගේ 60 වන උපන්දිනයයි. ඇගේ ආදරය, ශක්තිය සහ චරිතය අමරණීයයි. ඇය ලොව පුරා යහපත සඳහා බලවේගයක් බවට පත් කළ ගුණාංග තවම අපට මතකයි" යනුවෙන් සහෝදරයෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ. මවගේ මරණය සිදුවෙද්දී විලියම්ට වයස අවුරුදු 15 සහ හැරී 12 විය.
ඩයනාගේ ප්‍රියතම ස්ථානයක් හැටියට සන්කන් උද්‍යානයේ මෙම පිළිරුව පිහිටවූ තැන හැඳින්වේ.  කුඩා පෞද්ගලික උත්සවය සඳහා විලියම් සහ හැරී ඔවුන්ගේ මවගේ සහෝදරයා වන චාල්ස් ස්පෙන්සර් සහ ඇගේ සහෝදරියන් වන සාරා මැකෝර්කෝඩේල් සහ ජේන් ෆෙලෝස් ද එක් වූහ. මෙම අවස්ථාවට චාල්ස් කුමරා සහභාගී නොවීය.