බොලිවුඩයේ රජු ලෙස ජනප්‍රිය වූ සිනමා නළු දිලිප් කුමාර් බදාදා උදෑසන අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහු වයස අවුරුදු 98 පසුවිය.
ඔහු දිගු කලක් රෝගාතුර වී සිටි අතර ඔහුගේ මරණය සිදුවූ හින්දුජා රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ දිලිප් කුමාර්ගේ රුධිර පීඩනය සහ හිමොග්ලොබින් පහත වැටී තිබූ බවයි.  වෛද්‍යවරයා පැවසුවේ කුමාර්ට රෝහලේදී රුධිර පාරවිලයනය ලබා දීමටද සිදුවූ බවයි.  O- වර්ගයේ රුධිරය ඔහුට පැවති  බැවින් ඔහුට රුධිරය ලබා ගැනීම තරමක් අපහසු වූ බවද වෛද්‍යවරයා දන්වා ඇත.
නළුවාගේ නිල ට්විටර් ගිණුම ද ඔහුගේ මරණය පිළිබඳ පුවත සනාථ කරමින් සටහනක්ද තිබුණි
“දැඩි හදවතකින් හා දැඩි ශෝකයකින් යුතුව, අපගේ ආදරණීය දිලිප් සාබ්ගේ අභාවය මිනිත්තු කිහිපයකට පෙර නිවේදනය කරමු. අපි දෙවියන් වහන්සේගෙන් ය, උන් වහන්සේ වෙතට යමු. ” එහි සටහන් විය.


 යූසුෆ් ඛාන් ලෙස උපන් දිලිප් කුමාර්ගේ රංගනය දශක පහක් පුරා විහිදී ගිය එකකි. ඔහුගේ විශේෂ රංගන ශෛලිය පසුකාලීන නළුවන්ට ආභාසය විය.ඉන්දියාවේ සිනමාවේ ස්වර්ණමය යුගයේ දැවැන්තයෙකු ලෙස ඔහු සැලකේ. දේව්දාස්, මෝගල්-ඊ-අසාම්, ගන්ගා ජමුනා, රාම්ර් ශ්‍යාම්, නය ඩාවර්, මධුමතී, ක්‍රාන්ති, විදාටා, ශක්ති සහ මාෂල් ඔහුගේ රංගනයන් ප්‍රකට කළ නිර්මාණ රාශිය අතරින් කිහිපයකි.ඔහුගේ බිරිඳ ප්‍රවීණ රංගන ශිල්පී සයිරා බානු ය.
දිලිප් කුමාර් උපත ලැබුවේ පෙෂාවර් හි (වර්තමාන පාකිස්තානයේ) කිස්සා කවානි බසාර් ප්‍රදේශයේය. ඔහු 1944 ජ්වාර් භාටා නිර්මාණයෙන් චිත්‍රපටවලට පිවිසි නමුත් එය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවීය. 1947 ජුග්නු චිත්‍රපටයෙන් ඔහු සිය පළමු බොක්ස් ඔෆිස් ජයග්‍රහණය ලබා ගත්තේය.
1949 දී ඔහු රාජ් කපූර් සහ නර්ගිස් සමඟ අන්දස් හි රඟපෑ අතර දිලිප් කුමාර්  තරුවක් බවට පත් කළේ එම චිත්‍රපටයයි.
 1954 දී හොඳම නළුවාට ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත් පළමු නළුවා ඔහු වන අතර එය 8 වතාවක් දිනා ගත්තේය. ඔහු සහ ෂාරුක් ඛාන් එක්ව බොහෝ ෆිල්ම් ෆෙයාර් කුසලාන සඳහා වාර්තා තබා ඇත.
ඉන්දියානු නළුවෙකුගේ උපරිම සම්මාන සංඛ්‍යාව දිනාගත් දිලිප් කුමාර් ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූවෙකි. ඔහු  1998 දී තිරගත වූ කිලා චිත්‍රපටයෙන් පසු රංගනයට එක්වූයේ නැත. ඔහුගේ අභාවය සිනමා කර්මාන්තයේ විශාල අඩුවක් ඇති කර තිබේ.