Contradictory-stories-about-the-gem-found-in-Ratnapura

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ බවට මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කළ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මැණික් ගල සම්බන්ධ මේවනවිට සැකමුසු හා පරස්පර ආරංචි කිහිපයක් ලැබී තිබේ.


1 - මැණික් ගල ඒ කියන තරම් වටිනවාද?
මෙම ගලෙහි වටිනාකම සම්බන්ධයෙන් එම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනෙකු ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර ඔවුන් දෙන්නාම කියා සිටියේ මෙවැනි මියගොස් ඇති පාෂාණ වල විශාල වටිනාකමක් නැති බවත් කෞතුකාගාරයකට සුදුසු බවත්ය. එක් අයෙකුගේ තක්සේරුව ලක්ෂ 5 ක් වූ අතර අනෙකාගේ තක්සේරුව ලක්ෂ 10 ක් පමණක් විය.
කෙසේ වෙතත් ඔවුන් එය ස්පර්ශ කර තක්සේරු අගයන් නොකළ අතර රූපවාහිනී රූප රාමු පදනම් කරගෙන එම මත දැක්වීම කර තිබුණි.
2-මැණික් ගල හමුවීමේ කතාව ප්‍රබන්ධයක්ද?
මෙම මැණික් ගල ගමගේ නමැති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ළිඳක් හාරද්දී හමුවූ කතාව අදාළ ප්‍රදේශවාසීන්ගේ තොරතුරු අනුව ප්‍රබන්ධයක් වියහැකි බව ඊයේ රත්නපුර මාධ්‍යවේදීන් තොරතුරු සොයාගෙන තිබුණි. අසල්වාසීන් පවසා ඇත්තේ මෙම මැණික් ගල හමුවූ බව කියන පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකු නොවන බවයි. ඔහු මැණික් පතල් වලට පිරිස් යොදවා පතල් කැණීමේ නිරත කොන්ත්‍රාත්තු සිදු කරන අයෙකු බවයි. කෙසේ වෙතත් මැණික් ගල එවැනි වැඩබිමකදී හමුවන්නට ඇති බවත් ඉල්ලම ගැන ආරංචි පැතිරීයාමෙන් අනවශ්‍ය කරදර ඇතිවනවාට අකමැත්තෙන් නිවසේදී හමුවූ බව කියන්නට ඇති බවයි.


3-මැණික් ගල ඇත්තටම දැන් තිබෙන තැන?
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා පෙරේදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මැණික් ගල ඒ වනවිට ආරක්ෂිතව ලංකා බැංකු සේප්පුවක තැන්පත් කළ බව කියා සිටියේය. ඊයේ මාධ්‍යයට අදහස් දැක්වූ විෂයභාර ඇමති ලොහාන් රත්වත්තේ කියා සිටියේ මැණික් ගල ආරක්ෂිත ස්ථානයකට ගෙනයාමට තමන් ආරක්ෂක නිලධාරීන් සැපයූ බවයි.
මැණික් ගල හිමිකරුගේ නිවසට යාමට මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම උත්සාහ කළත් ගමගේ මහතා ඊට අවස්ථාව නොදුන් බව ඊයේ වාර්තා කර තිබුණි. ඒ ආරක්ෂක හේතු නිසා විය හැකිය. නමුත් ඊයේ මැණික් ගල සොයාගෙන ව්‍යාපාරිකයාගේ රත්නපුර නිවසට ගිය බව පවසමින් හිරු ටීවී ප්‍රවෘත්ති අංගයක් ඉදිරිපත් කළ අතර එහිදී මැණික් ගල තැන්පත් කර තිබූ පෙර ඡායාරූපයකද ප්‍රසිද්ධ වූ ස්ථානයේ සිට එය ස්පර්ශ කරමින් නිවේදකයෙකු කථා කළේය.
ඒ අනුව පෙරේදා ලංකා බැංකුවට ගෙනගිය මැණික යලි රත්නපුර නිවසේ දර්ශනය වීම සැකසහිත කාරණාවක් වී තිබේ.