Kegalle A/L student dies after falling from four floors while studying

කෑගල්ල ශාන්ත මරියා මහ විද්‍යාලයේ 13 වසරේ සිසුවකු අඩි 40 උස සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලින් බිමට වැටී මියගිය බව මාවනැල්ල පොලිසිය පවසයි. කෑගල්ල ශාන්ත මරියා මහ විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුවා මාවනැල්ල නව කොළඹ පාරේ මහෙස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ තම මව හා නැගණිය සමග පදිංචිව සිටියේය.

ඔහු ඉදිරියේ එන උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටිය අයෙකි. පාසල් නොපැවෙත්වෙන නිසා නිවසේ පැත්තක ඇති ආරක්ෂිත කෙටි තාප්පය මත වාඩිවී පාඩම් කර ඇත.

පියා මියගොස් ඇති අතර මව විසින් පෞද්ගලික උපකාරක පංති කර ලැබෙන මුදලින් ජීවත් වී ඇත. පසුගිය 24 දා අලුයම 1 1/2 පමණ මවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂිත රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරින්ට කිසියම් දෙයක් බිමට වැටෙන ශබ්දයක් ඇසී ඇත. ඒ අනුව වැටුන දේ ගැන සොයා බැලීමේදී අධිකරණ භුමිය අයිනේ ඇති ගොඩනැගිල්ල අසල කෙඳිරිගාමින් බිම වැටී සිටි මෙම තරුණයා හමුව ඇත.



ඉහළ මහලේ පදිංචි සිසුවා බව දැනගත් පොලිස් නිලධාරින් වහාම එම මවට දන්වා ගිලන් රථයක් කැඳවා මාවනැල්ල රෝහල වෙත යවා ඇත.

මාවනැල්ල රෝහලෙන් කෑගල්ල මහ රෝහලට මාරු කර යැවූ නමුත් කෑගල්ල මහ රෝහලේදී සිසුවා මිය ගියේය.

සුරේන් රොබට් එම්මානුවෙල් ( 17) නමැති මෙම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ දී සිදු කෙරිණ. මියගිය සිසුවාගේ මව වන තනුජා එම්මානුවෙල් (47) ප්‍රකාශ කළේ, ‘‘මට දරුවන් දෙදෙනකු ඉන්නවා මිය ගොස් සිටින්නේ මගේ ලොකු පුතා. බාලයා දුව. පුතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් රාත්‍රී කාලයෙත් පාඩම් කරනවා. පදිංචි වෙලා ඉන්නේ මාවනැල්ලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉඩමට යාබද ඉඩමේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ කෙටි තාප්පය උඩ වාඩිවෙලා සිටියදී වැටෙන්න ඇති. මොනව කරන්නද එයා ගෙනාව ආයුෂ ඉවරයි’’ යැයි පැවසුවාය.

(සාලිය ගමසිංහ ආරච්චි - කෑගල්ල)