වයස අවුරුදු 92ක් වූ තම මවගේ මරණය ගැන සැකයක් ඇති බවට දියණියක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ පැමිණිල්ලක් අනුව අවසන් කටයුතු සඳහා නිවසේ තැත්පත් කර තිබූ දේහය යළි කළුතර නාගොඩ මහ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන යන ලෙසට කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඉකුත්දා (10) නියම කළේය. මෙසේ මියගොස් ඇත්තේ පයාගල වේරගල පදිංචිව සිටි එල්.ඩී. විමලාවතී නම් වූ මාතාවකි. ඇය තම පුත්‍රයකු වූ ගාමිණී ජයසිංහ යන අය සමග නිවසේ වාසය කර ඇති බවත් රෝගී වී සිටි ඇයට ඔහු නිවස අසල පදිංචි හෙදියක ලවා සේලයින් ද දී තිබූ බවත් එසේ සිටියදී (10 දා) මියගොස් තිබූ බවත් පයාගල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.
මවගේ මරණය සම්බන්ධයෙන් පුත්‍රයා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හා ග්‍රාම නිලධාරිවරයාට දන්වා ඇති අතර කරුණු සලකා බැලීමෙන් පසු පැය 24ක් තුළ අවසන් කටයුතු සිදුකරන ලෙසට උපදෙස් දී තිබුණි.
මෙම පුත්‍රයා සමග අමනාපයෙන් සිටි බව කියන ඔහුගේ සොහොයුරියක් මෙම මරණය සැක සහිත බව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා ඇත්තේ අවසන් කටයුතු සඳහා සූදානම් කළ දේහය පසුගියදා (10) නිවසේ තැන්පත් කර තිබියදීය. මේ පිළිබඳව පයාගල පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වීම සඳහා දේහය කළුතර මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන යන ලෙස නියෝග ලබා දුන්නේය. ඒ අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා නිවසේ තැන්පත් කර තිබූ දේහය කළුතර මහ රෝහලේ මෘත ශරිරාගාරය වෙත ගෙනයාමට පොලිසිය කටයුතු කරන ලදී. පයාගල පොලිසියේ පොලිස් පරික්ෂක ලලිත් මහතා මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළේය.
-සුනිල් එස්. තන්ත්රිආරච්චි-
0 Comments