ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත් හැටියට මුලින්ම ලැබී තිබුනේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත්ය. ඒවා මෙරටට එවනු ලැබූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේය. එන්නත් භාරගත් සෞඛ්‍ය අමාත්‍යංශය එන්නත් ලබාදීම සෞඛ්‍ය හා ඉදිරිපෙළ ආරක්ෂක අංශ වෙත මුලින්ම සිදු කළ අතර අනතුරුව කොළඹ හා තදාසන්න නගරවල වයස 60 ට වැඩි අයට එය ලබාදෙන බව පැවසුවේය. එන්නත් ලබාදීමේදී දීර්ඝ කාලයක සිට ලංකාවේ රජයේ සෞඛ්‍ය අංශ භාවිත කරන කාඩ්පතක් මේ සඳහාද යොදාගත් අතර එන්නත ලබන්නට පෙරාතුව එන්නත් ලබන්නාගේ නම හැඳුනුම්පත් අංකය ලිපිනය වෙනත් රෝග ඇතිනම් ඒ ගැන විස්තර ආදී තොරතුරුද එම කාඩ්පතේ පිරවිය යුතු විය. මාත්‍රා දෙකකින් මෙම එන්නත ලබාදෙන බැවින් දෙවැනි මාත්‍රාව ලබාගැනීමේදී කලින් පිරවූ කාඩ්පත නැවත ගෙනවිත් එය පුරවාගත හැකි පරිදි සටහන් තැබීම සිදුවිය.
කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් ලංකාවට එද්දී කොරෝනාවට වෙනත් එන්නත් මෙරට නොතිබීමත් පැවති එන්නතට අධික ඉල්ලුමක් පැවතීමත් නිසා මෙම එන්නත හොර පාරෙන් විදගත් අයද බොහෝ ගණනක් සිටි බව පැවසුණි. රජයේ නියමය වූයේ වයස 60 වැඩි අයට දෙන්නට වුවත් හොර පාරෙන් ලබාගත් අය වෙනත් වයස් සීමාවල සිටි අයද වූ බැවින් ඇතැම් විට තම තමන්ගේ දත්ත කාඩ්පත්වල පුරවා ඒවා ලබාගෙන නැති බව හෙලිවෙමින් පවතී.
ඇතැම් විට දන්නා කියන අයට අඩගසා නිල නොවන ස්ථානවලදී එන්නත් ලබාදී ඇති අතර ඒවාද කිසිදු කාඩ්පතක ලේඛණ ගතවී නැත.
මෙම එන්නත් ලක්ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ලැබෙද්දී එක්වරම ඉන්දියාවේ සැපයුම නතර විය. ඒ වනවිට කිසිදු සැලසුමක් නැතිව එන්නතේ පළමු මාත්‍රා විදගෙන විදගෙන ගොස් ලක්ෂ 9 කට එන්නත විද තිබූ අතර දෙවැනි මාත්‍රාවට ඉතිරි වූයේ ලක්ෂ 3 ක් පමණි. මදිපාඩුවූ ලක්ෂ 6 තවම දෙවැනි මාත්‍රාවක් නැතිව නිවෙස්වල ළතැවෙමින් සිටී.
ලංකාව කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව ලබාගන්නට බැරිව දසඅතේ උදව් ඉල්ලූ නමුත් කිසිවෙකු පිහිටට ආවේ නැත. අසල්වාසී ඉන්දියාව පවා ඒ ගැන බැලුවේ නැත.
කෙසේ වෙතත් නැවත ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත්වී මෙම ජුලී මස අග කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 15 ක තොගයක් ලංකාවට එවන්නට සූදානමින් සිටින බවට ආරංචි පළව ඇත. බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනිකා අනුවාදයක් ඉන්දියාවේ මෙන් ජපානයේද නිපදවන බැවින් මෙවර තොගය පැමිණෙන්නේ ජපානයේ සිටයි.
මෙම තොගයෙන් ලක්ෂ 6 ක් දෙවැනි මාත්‍රා සඳහා වෙන්කර ඇති අතර ඒවා ලබාදීම සඳහා පැරනි ලිපි ලේඛන බලද්දී අලුත්ම ගැටලුවකට සෞඛ්‍ය අංශ මුහුණදී තිබේ. මුල් එන්නත ලබාගත් ලක්ෂ 3 ක පමණ දත්ත සොයාගන්නට නැති වීමයි.
එන්නත් කුප්පි නිකුත්වූ සංඛ්‍යා ලේඛන ඇතත් විදගත් සංඛ්‍යාලේඛන අතුරුදන්ය. නිකුත්වූ තැන්වලින් ඒවා පිටගියේ කෙසේදැයි තවම පැහැදිලි නැත.
ඒ අපැහැදිලි පිරිස අතර පළමු මාත්‍රාව ලෙස ලබාගෙන දෙවැන්න අපේක්ෂාවෙන් සිටින අය සිටිය හැකි අතරම අපි එන්නත් දෙකම ගත්තා තව ඕන නැහැ කියන අයද සිටිය හැකිය.
කොරෝනා එන්නත් මුල් කාලයේදී ලබාගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගෙන් සෞඛ්‍ය අංශ ලබාගත් දත්තවල ලොකු ගැටලු සහ අඩුපාඩු පවතින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පවසා තිබුණි.
සමහර දත්තවල අඩුපාඩු මෙන්ම අපැහැදිලි තැන් පවතින බවද මේ දත්ත ගැටලුව පවතින්නේ පළමුවෙන් ලබාදුන් එන්නත් මිලියනයට අදාළව යැයිද පැවසූ ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා එම දත්ත ප්‍රමාණය පළමුවෙන් නිරවුල් කරගත යුතුව තිබෙන බවද පැවැසුවේය.
"යුද හමුදාව පළවෙනි දවසේ ඉඳලම දත්ත පරිගණක ගත කරලා එකතු කරගත්තා. නමුත් සෞඛ්‍ය අංශවල අපි දැක්කා පොත්පත්වල ලියාගෙන යන ක්‍රමවේදයක් . ඒ හින්දා ගුවන් හමුදාව ඒ මුල්ම එන්නත්කරණ දත්ත එකතු කරන්න අපි යෙදෙව්වා. විවිධ තැන්වලදි ගුවන් හමුදාවට ප්‍රශ්න ආවා. ඒ විස්තර දුන්නැති තැන් තිබුණා.
කවුද ගන්න කිව්වේ කියලා අහලා තිබුණා. දත්ත දෙන්න බෑ කියලා තිබුණා.
මේ වනවිටත් ලක්ෂ 3ක විතර දත්ත ප්‍රමාණයක් ඇතුළත් කරන්න තියෙනවා. සෞඛ්‍ය අංශවලින් තමයි ඒ ටික එන්න තියෙන්නේ. පළවෙනි එන්නත් මිලියනයේ තමයි ඔය ගැටලුව තියෙන්නේ. සමහර දත්තවල අඩුපාඩු තියෙනවා. අපහැදිලි තැන් තියෙනවා. දැන් ඉස්සරහට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව පන් ලක්ෂ හැට හය දහසකට විතර දෙන්න තියෙනවා. ඒ වෙද්දි ඒ අය එළියට එනවනේ. ඒ අවස්ථාව වෙද්දි මේ තත්ත්වය සමථයකට පත්වෙයි කියලා අපි හිතනවා."
කොවිඩ් මර්දන එන්නත ලබා ගත් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ එම දත්ත සෞඛ්‍ය අංශ ලබා දිය යුතු බවත් මේ තත්වය යටතේ එන්නත්කරණ දත්ත එකතු කිරීමට ගුවන් හමුදා සාමාජිකයන් යොදවා ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
0 Comments