ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් (Pfizer-BioNTech) මාත්‍රා 27,000ක් අද (05) අලුයම මෙරටට රැගෙන එනු ලැබීය.
අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු පළමු අවස්ථාව මෙය ලෙස චන්න ජයසුමන රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය. අති විශාල තරගයක් තිබියදී ලංකාවට මෙය ගෙන්වීමට කැපවී මේ වෙනුවෙන් උත්සාහ කළ ඖෂධ අධිකාරියේ සභාපතිවරයාට ස්තූති වන්ත වන බව රාජ්‍ය ඇමතිවරයා කීය.දකුණු ආසියානු රටකට මුදල් ගෙවා ෆයිසර් එන්නත ලබාගන්නා පළමු අවස්ථාව මෙය විය.


මෙම ෆයිසර් එන්නත් තොගය ද කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද ප්‍රකාශ කළේය.
ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙක මෙරටට ලැබුණු පසුව මහනුවර දිස්ත්‍රික්කයට යැවීමට කොවිඩ් කමිටුව තීරණය කර ඇතැයිද වාර්තාවේ. ෆයිසර් එන්නත් මාත්‍රා තොගය අද (05දා) සිට මෙම මස ඇතුළත අවස්ථා හතරකදී තවත් තොග මෙරටට රැගෙන ඒමට නියමිත බවත් මෙම වසර ඇතුළත ලබාදෙන පදනම මත ලක්ෂ 50 ක් පමණ ඇණවුම් කර ඇති බවත් වාර්තාවේ.