කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සීමා හේතුවෙන් ලොව මුල් පෙළේ තාක්ෂණික සමාගම් වන මයික්‍රොසොෆ්ට්, ඇපල් සහ ගුගල් යන සමාගවල ලාහය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි. විශේෂයෙන්ම මෙම වසංගත තත්වය නිසා පැනවූ ලොක්ඩවුන් අවස්ථාවන් නිසා අන්තර්ජාල දැන්වීම්කරුවන් සිය වියදම් ඉහළ නැංවීම්, පාරිභෝගිකයන් නව දුරකථන වෙත යොමුවීම් මෙන්ම ක්ලවුඩි ගබඩා පහසුකම් යාවත්කාලීන කරගැනීම් සඳහා යොමුවීම යනාදිය හේතුවෙන් මෙලෙස එම සමාගම්වල ආදායම් වර්ධනය වී ලාභය ඉහළ ගොස් තිබේ.
මේ අතරින් ඇපල් සමාගම වෙත මේ වසරේ මාර්තු සිට ජුනි මාසය දක්වා වූ මාස තුනක කාලයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 21.7ක ලාභයක් හිමිව තිබේ. විශේෂයෙන්ම පාරිභෝගිකයන් එහි නවතම 5G අයිෆෝන මිලදී ගැනීමට යොමු වීම සහ එහි සංගීත සහ රූපවාහිනි ස්ට්‍රීමිං සේවා වෙත ලියාපදිංචි වීම් ඉහළ යාම ඊට හේතුව වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, "මෙම කාර්තුවේදී අපගේ කණ්ඩායම් පෙර නොවූ විරූ ලෙස නවෝත්පාදන ඉදිරිපත් කරමින් අපගේ පාරිභෝගිකයන් වෙත වඩාත් බලගතු නිෂ්පාදන ඉදිරිපත් කළා. එය තාක්ෂණය හරහා මිනිසුන් එකිනෙකා සම්බන්ධ කරන මෙවැනි කාලයකදී ඉතාමත් වැදගත් දෙයක්.” යනුවෙන් පවසා ඇත.
එහිදී චීනයේ ස්මාර්ට් දුරකතන වෙළද පොළේ කැපී පෙනෙන වර්ධනය ඇපල් සමාගමේ ලාභය ඉහළ යාමට මුලිකවම හේතුව වී තිබේ. එහිදී ඇපල් වොච් සහ අයිෆෝන් 12 උපාංග පාරිභෝගිකයන් අතර වඩා වැඩි ආකර්ෂණයක් හිමි කරාගෙන තිබේ. එසේම මයික්‍රොසොෆ්ට් සමාගම සහ ගූගල් සමාගමේ ඇල්ෆබට් සමාගමද ආසන්න කාලයේදී සිය අලෙවිය කැපී පෙනෙන ලෙස වර්ධනය කරගෙන ඇත.
ඒ අතරින් මයික්‍රොසොෆ්ට් සමාගමේ අලෙවිය පෙර වසරට සාපේක්ෂව 47%කින් වර්ධනය වී ඇති අතර, ලාභය ලෙස ඩොලර් බිලියන 16.5ක් රැස් කරගෙන ඇත. එසේම ඇල්ෆබට් සමාගමේ ආදායම 61.6%කින් වර්ධනය වී ඇති අතර ලාභය එක්සත් ජනපද ඩොලර් බිලියන 61.88ක් බවට පත්ව තිබේ. මේ අතර ගූගල් සමාගමේ යූටියුබ් වෙබ් අඩවිය සිය ආදායම් අතරින් බොහෝමයක්ම අන්තර්ජාල දැන්වීම්කරණය හරහා රැස් කරගෙන ගෙන තිබේ. එහිදී පෙර වසරේදී අත්කරගත් ඩොලර් බිලියන 3.81ක ලාභයට සාපේක්ෂව මේ වසරේදී ඩොලර් බිලියන 7ක ලාභයක් උපයා ගැනීමට සමත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ගූගල් සමාගමේ ප්‍රධානී සුන්දර් පිචායි, "ලෝකයේ බොහෝ ප්‍රදේශවල අන්තර්ජාල ක්‍රියාකාරකම්වල ඉහළයාම මෙම වසංගතය නිසා ඇති වූ ප්‍රවණතාවයේම කොටසක්”යනුවෙන් පවසා තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගමේ ක්ලවුඩ් පාදක ගබඩා පහසුකම් සේවාද මෙම කාලසීමාවේදී කැපී පෙනෙන ලාභයක් රැස් කරගැනීමට සමත්ව ඇති අතර, එසේම පෞද්ගලික පරිගණක තුළ මෙන්ම Xbox වීඩියෝ ක්‍රීඩා කොන්සෝල මෙන්ම එහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුළදිද පසුගිය කාලයේදී කැපී පෙනෙන ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබේ. කෙසේ වෙතත් මෙලෙස වසංගතය හේතුවෙන් ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් සිය ලාභය කීප ගුණයකින්ම වර්ධනය කරගනිද්දී, ඒවායේ සේවය කළ මිලියන ගණනක් වූ පිරිසකට සිය රැකියා අහිමිවීමක්ද සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. එසේම පාඩු ලැබූ අනෙකුත් කුඩා තාක්ෂණික සමාගම් අත්පත් කරගනිමින් තාක්ෂණික ලොව ඒකාධිකාරයක් පවත්වා ගෙන යාම්ද මෙම දැවැන්ත සමාගම් තුළින් ඉදිරියේදී දැකගත හැකි වෙනු ඇතැයිද අදහස් මතුව තිබේ. ඒ අනුව උද්ගතව පවතින මෙම තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට එක්සත් ජනපදයේ මෙන්ම එක්සත් රාජධානියේද දේශපාලනඥයන් සහ නියාමකයන් පියවර ගෙන ඇතැයිද සදහන් වෙයි.
ඒ අතරින් එක්සත් ජනපදයේ ඒකාධිකාරයට එරෙහි නියාමකයා වන තරගකාරිත්වය සහ වෙළද පොළ අධිකාරිය මගින් දැනටමත් ඩිජිටල් වෙළද පොළ ඒකකයක් පිහිටුවා ඇති අතර, ඒ හරහා තාක්ෂණික සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබදව විමර්ශනය කරන බවත් පවසයි. එසේම එක්සත් ජනපද රජයද දැනටමත් මෙවැනි දැවැන්ත තාක්ෂණික සමාගම් මගින් සිදු කළ හැකි එවැනි ඒකාධිකාරයක් බිහි කිරීමේ අවස්ථාවන් වැළක්වීමේ පියවර ගෙන ඇත. එහිදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් පසුගියදා සිය විධායක නියෝගයක් අත්සන් තබමින්, තවදුරටත් එරට තුළ තාක්ෂණික සමාගම් තුළ තරගකාරීත්වය වර්ධනය කිරීමටත්, දැවැන්ත සමාගම් වෙත සිය තරගකරුවන් මිලදී ගැනීම වැළැක්වීමටත් පියවර ගෙන තිබේ.
0 Comments