The-mother-who-killed-and-burned-the-baby-born-by-casual

අනියම් ඇසුරක ප්‍රතිඵලයකින් ගැබ්ගැනීම නිසා ඉපදුනු බිලිඳා උපන්හැටියේ මරා පුලුස්සා කැලයට විසිකෙරූ මවක් අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලිසිය පෙරේදා (12 වැනිදා) කටයුතු කළේය.  පේරාරු යුනිට් 01 පෙදෙසේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා මෙයට වසර හතරකට පමණ පෙර දී රැකියාවක් සඳහා විදේශගතව වී ඇත. කාලයා ගේ ඇවෑමෙන් මෙම කාන්තාව අනියම් ඇසුරකට යොමු වී ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයකු සමගිනි. නීත්‍යනුකූල සැමියාට දාව දරුවන් තිදෙනකු සිටින ඇයට අනියම් ඇසුර හේතුවෙන් තමා ගැබ් ගෙන ඇති බව දැන ගන්නට ලැබී ඇත. තම පවුල් ජීවිතයත් අනෙක් දරුවන් ගේ අනාගතයත් ගැන සිතූ ඇය මෙම ගැබ් ගැනීම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් මෙන්ම අවට පිරිස්ගෙන් ද වසන්කරමින් කල් ගත කළාය. එහෙත් එම නිවසේ ම විසූ නැන්දම්මා ලේලියගේ ශරීර වෙන්සකම් පිළිබඳව විමසිල්ලෙන් පසු වූවාය.



දරුගැබට නිසිකල සම්පූර්ණ වී මෙලොව එළිය බලන්නට කාලය සැපිරී ඇත්තේ පෙරේදාය. එදින සවස 4.00ට පමණ ඇය නිවසේ කාමරයක් තුළ දී රහසේම දරුවා ප්‍රසූත කළාය. ගැහැනු දරුවෙකු වූ පවුලේ නව සාමාජිකයා නිසා ඉදිරියේ දී තමන්හට මුහුණ පෑමට සිදුවන අපහාස සහ ගැටලු නිසා ඇය ඉතා කුරිරු මෙන්ම මවකට නොගැළපෙන තීරණයක් ගත්තාය. අලුත උපන් කිරිකැටියා ඇස් ඇර මෙලොව එළිය දකින්නට මත්තෙන්ම රෙදිකඩක ඔතා බිලිඳු සිරුර මරා දමා එයට ගිනි තැබූ ඇය එය තම ‍ගෙවත්තට වීසි කළාය. එය තම නැන්දම්මාගෙන් වසන් කර ගැනීම නොහැකි වූ තැන නැවතත් එම සිරුර ගෙන අල්ලපු ඉඩමේ ලන්දකට විසි කළාය.

මෙම සිදුවීම් දෙස බලා සිටි නැන්දම්මා කෑ ගසා අවට පිරිස් කැඳවා සිදුවීම පවසා කන්තලේ පොලිසිය දැනුවත් කර ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි කන්තලේ පොලිස් අපරාධ විමර්ශණ අංශය විසිකර දමා තිබූ බිලිඳු සිරුර සොයා ගැනිණි. අදාළ කාන්තාව ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. පසුව එම ස්ථානයට කන්තලේ පොලිස් අපරාධ විමර්ශන නිලධාරීහු පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. කාන්තාවගේ අනියම් ඇසුරේ පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ඔහුව ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මහින්ද සේනාරත්න - කන්තලේ