
වරකා මදුලක රස බලන්නට වරකා ගෙඩියක් කැඩීමට ගිය දාහතර හැවිරිදි සිසුවකු ඇළට වැටී මියයෑමේ පුවතක් පෙරේදා 13 වැනිදා හුංගම පොලිස් වසමේ දෙනිය තනිපොල්ගහ වාඩියෙන් වාර්තා වේ.
වරකා ගෙඩිය කැඩීමට උස මදි හෙයින් ප්ලාස්ටික් පුටුවක් උඩ නැග ලීයක ආධාරයෙන් වරකා ගෙඩිය කැඩීමට උත්සාහ දැරිමේ දී වරකා ගස අසල ගලා බසින ඇළට වැටීමෙන් මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හුංගම පොලිසිය කියයි. සිය මව අසනීප වී ඇති හෙයින් මව සහ අක්කා සමග ආච්චිගේ නිවෙසට පැමිණ සිටි අවස්ථාවේ දී සිසුවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇතැයි පොලිසිය සඳහන් කරයි.මෙසේ මියගොස් ඇත්තේ නෝනගම පලුගස්වල පදිංචි කේ.ජී. නිමේෂ් ලක්ෂිත චතුරංග (14) හැවිරිදි දරුවකු වන අතර, අම්බලන්තොට මහා විදුහලේ 8 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. වරකා ගස අසල කැඩී ගිය ප්ලාස්ටික් පුටුව හා වරකා ගෙඩිය කැඩීමට යොදාගත් ලීය ද ගස අසල තිබිණි. ඇළේ වැටී මියගොස් සිටි සිසුවාගේ සිරුර 13 වැනිදා පස්වරුවේ හදිසි මරණ පරිෂකවරයා ඉදිරියේ ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා තංගල්ල මූලික රෝහල වෙත රැගෙන ගිය බව හංගම පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් මියගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරියක වන නිමේෂා හර්ෂණී මෙසේ කීවාය. අම්මාට සනීප නැති නිසා ඒ වගේම තාත්තාත් අද ගෙදර නැති නිසා අම්මාත්, මල්ලීත් මමත් ආච්චිලයි ගෙදර ඇවිත් සිටියා. එහිදී මල්ලී වරකා කන්න ආසයි කියලා කිව්වා. ටික වෙලාවකින් මල්ලී ගෙදර නැති නිසා මම හැම තැනම මල්ලි සෙව්වා. අන්තිමේ දී කැඩී ගිය ප්ලාස්ටික් පුටුව හා සෙරෙප්පු දෙක වරකා ගස මුල තිබුණා දැක්කා. ඇළට වැටී සිටි මල්ලිගේ සිරුර ගොඩ ගත්තා යැයි ද ඇය කීවාය. සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරික්ෂණ සිදු කරයි.
-සනත් ගමගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval