15-girl-abuse-updates

අන්තර්ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති, සැඟවී සිටින සැකකරුවන් සොයා මෙහෙයුමක් සිදු කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. 

නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒකක විසින් ඊට අදාළ පරීක්ෂණ සිදුකරන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වෙත දැනුම් දී තිබේ.

අදාළ බාලවයස්කාර දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන ලදැයි අත්අඩංගුවට ගෙන සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ආවරණ සහිතව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කර තිබුණි.

එහිදී දැරිය සැකකාර ත්‍රිරෝද රියැදුරු පහසුවෙන් හඳුනා ගත්තාය. ඒ අනුව සැකකරු ලබන 29 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

මෙම දැරිය අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කරන ලද වෙබ් අඩවියක හිමිකරුවෙකුට සහ මුදල් කළමනාකරුවෙකුට ඇප ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය, එම සැකකරුවන් ද ලබන 29 වන දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය. 




 බාල වයස්කාර දැරිය අලෙවි කිරීමට යොදාගත් වෙබ් අඩවිය සහ එවැනි අනර්ථකාරි වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිසම ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව ගත් තීරණ පිළිබඳව ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය එම කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට (19) නියෝග කළාය.  විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහුගේ නියෝජිතයකුට හෝ සුදුසු නීති නිලධාරියකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරිය ඉකුත් 6 වැනිදා කළ නියෝගයකට අනුව එම කොමිසමේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ, නීතිඥ රුවනි ද සිල්වා  කුලරත්න මහත්මිය ඊයේ (19) අධිකරණය  හමුවේ පෙනී සිටි අවස්ථාවේදී අධිකරණය  මෙම නියෝගය නිකුත් කළේය. 

අන්තර්ජාලයේ දැන්වීම් පළකර ගල්කිස්ස ප්‍රදේශයේ පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (19) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී   මේ කරුණු ඉදිරිපත් විණ. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය සමග ළමා හා කාන්තා කාර්යාංශයේ නඩු  මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරික්ෂක සුනිල් ප්‍රියන්ත, පොලිස්  සැරයන් (42373) සරමසිංහ, පොලිස් සැරයන් (44823) සුනන්ද සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ.  සේනාරත්න යන මහත්වරු අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙනී සිටියහ.

මෙවැනි අශ්ලීල අනවශ්‍ය ක්‍රියා සිදුවන  වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම ගත යුතු ක්‍රියාදාමය එම කොමිෂන් සභා පනතින් දක්වා ඇති බවත්, ඒ අනුව ඒ ඒ රාජ්‍ය ආයතන තමා සතු කර්තව්‍යයන් සිදුකළ යුතු බව අධිකරණයේ මතය බවත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී සදහන්  කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පනතට අනුව කරුණු ඉදිරිපත් කළ යුතුව ඇති බැවින්, ඉදිරි නඩු දිනයේදී අනිවාර්යයෙන්ම  මෙවැනි  අශ්ලීල  වෙබ් අඩවි සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබඳව දැනුම් දෙන  ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය විදුලි සංදේශ නියාමන කොමිසමට නියම කළාය. මෙම සිද්ධියට අදාළව දැරිය කුට්ටනය  කිරිමට ආධාර අනුබල දුන් බව කියන  ත්‍රිරෝද රථ රියැදුරකු ඊයේ (19) හඳුනා  ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර, එහිදී වින්දිත දැරිය සැකකරු පහසුවෙන්  හඳුනාගෙන තිබිණ. 



මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලංකා-ඇඩ්ස් ඩොට්  කොම් වෙබ් අඩවියේ හිමිකරු සහ මූල්‍ය කළමනාකරු යන දෙදෙනාට ඇප  ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥවරුන් ලිඛිත දේශන ඉදිරිපත් කරමින් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන්  තවදුරටත් ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග  කළාය.‍මෙම සැකකරුවන් දෙදෙනා අදාළ දැන්විම වෙබ් අඩවියේ ප්‍රචාරය කිරීම  හේතුවෙන් රට වටේම ගනුදෙනුකරුවන්  බිහි වී ඇති බවත්, මෙම සිද්ධිය හේතුවෙන් මහජන කැළඹීමක් ඇති වී තිබෙන බවට අධිකරණයට නිරික්ෂණය වන බවත්  සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කළාය.

 (ඉෂාර රත්නකාර , නිමන්ති රණසිංහ)