පසුගිය දිනවල බොහෝ අය කථාබහට ලක්කළ මාතෘකෘවක් වූයේ ආසියානු රටවල නිෂ්පාදිත කොරෝනා එන්නත් බටහිරදී පිළිගන්නේ නැතිද යන්නයි. එනම් ඉන්දියානු ඇස්ට්‍රාසෙනිකා චීන සිනොවැක් හා රුසියානු ස්පුට්නික් වැනි ආසියානු එන්නත් විදගනු ලැබූ අය බටහිර හෝ යුරෝපානු රටවල්වල සංචාර කරද්දී එම රටවලට ඇතුළු කරගැනීමට වීසා ලබාදීමේදී වලංගුභාවයකින් තොර ලෙස සලකනු ලබන්නේද යන්නයි.
සත්තකින්ම එවැනි නොපැළිගැනීමේ නිවේදන පසුගිය ජුනි මස අග දක්වාම පැවතිය අතර එන්නත් අතර පවතින වෙනස සම්බන්ධයෙන් ඒ ඒ රටවල් විවිධ අදහස් දැරීම හා විශ්වාස කිරීම හා නොකිරීමේ සාධක මත වලංගු ලැයිස්තුවේ නැති එන්නත් විදගත් අයට ඒ රටවලට ඇතුළුවීමට අවසර නොලැබුණි. අවසර දුන් රටවල්ද තිබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හදිසි භාවිතය සඳහා‘ යයි අනුමත කළ එන්නත් තවම පරිපූර්ණ අනුමැතිය ලබා නොතිබීම යයි දක්වමින් මෙම නොසැලකිල්ලට ලක්ව තිබුණි.
කොරෝනා අර්බුදය හමුවේ පෙරකවරදාකටත් වඩා ප්‍රවේශම් සහගතවූ බටහිර හා යුරෝපානු රටවල් මෙම නීති දැඩිව ක්‍රියාත්මක කරනු ලැබූයේ අවිශ්වාසී එන්නත් ලාභීන්ගේ රෝග විනිශ්චය ගැන තවම පවතින සැකසංකා නිසාය.


මේ හේතුවෙන් පිටරටවල අධ්‍යාපනය හැදෑරීමට, තාවකාලික පදිංචියට හෝ සංචාරයට යන අයට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබුණි. නමුත් පසුගිය ජූනි මස අගපැවති මෙම අවිනිශ්තභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක් මගින් වෙනසකට ලක්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නැවත කියා සිටියේ හදිසි භාවිතය සඳහා තමන් විසින් බලය පවරන ලද ඕනෑම COVID-19 එන්නතක් එන්නත් කරන ලද සංචාරකයින් සඳහා දේශසීමා විවෘත කරන විට රටවල් විසින් පිළිගත යුතු බවයි.
කෙසේ වෙතත් අඩු ඵලදායී එන්නත් දෙකක් ලෙස සයිනොෆාම් හා සිනොවැක් චීන එන්නත් නම් කරමින් එක්සත් ජනපද සෞඛ්‍ය ඒජන්සිය විසින් ප්‍රසිද්ධකර තිබූ නිවේදනය මේ අනුව අභියෝගයට ලක්විය.

යුරෝපීය හා උතුරු ඇමරිකානු රටවල් විසින් ඒ දක්වා ෆයිසර්-බයෝටෙක්, මෝඩර්නා ඉන්කෝපරේෂන්, ඇස්ට්‍රාසෙනෙකා(බ්‍රිතාන්‍ය) සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් පමණක් විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.
පිළිගැනීම සලකා බලමින් සිටින බවට පමණක් දැක්වූ එන්නත් අතර ලංකාවේද භාවිතයට ගත් සයිනොෆාම්, ස්පුට්නික්V හා ඇස්ට්‍රාසෙනිකා (ඉන්දියානු කොවිෂීල්ඩ්) එන්නත් තිබුණි.මෙම එන්නත් වර්ග තුනම ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කර ඇත.
මීට ඉහත යුරෝපය පුරා සංචාරය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් යුරෝපා සංගමය මැයි මාසයේදී කියා සිටියේ යුරෝපීය එන්නත් ඒජන්සිය විසින් බලපත්‍ර ලබාගෙන ඇති
එන්නත් සහිත අයට පමණක් දේශසීමා තරණය කිරීමේ අවසරය දෙන බවයි.
යුරෝපා සංගම් ඖෂධ නියාමකයා තවමත්  චීනයේ සිනොවැක් එන්නත සඳහා බලපත්‍ර ලබා දීමට සලකා බලමින් සිටින නමුත් තීරණයක් ගැනීමට කාල නියමයක් නම් කර නොමැත. බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ඉන්දියාවේ නිපදවන ලද අනුවාදයද (කොවිෂීල්ඩ්) ඔවුන් තවම පිළිගෙන නැත.


එක්සත් ජනපදය යුරෝපයේ මෙම ප්‍රතිපත්ති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මැදහත්වී සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට ලබාදුන් COVAX හුවමාරු ව්‍යාපෘතිය මේ නිසා අර්බුදයකට යන බව විද්වතුන් පෙන්වාදී තිබේ.
‘ගෝලීය එන්නත් බෙදීම තවදුරටත් පුළුල් කිරීම විවිධ බාධක සහිතයි. දැනටමත් මතුව ඇති අසමානතාවයන් මේකට හොඳම උදාහරණ සපයනවා. COVID-19 එන්නත් බෙදා හැරීම දැනටමත් වඩාත්ම පීඩාවට පත්ව සිටින ආර්ථිකයන්ගේ වර්ධනයට අහිතකර ලෙස බලපා තිබෙනවා.අපගේ උත්සාහය ඉදිරියේදී ලෝකයේ සියලු රටවලට පිළිගත හැකි සාධාරණ විසඳුමකට මෙම එන්නත්කරණය ගෙන යාමයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා සිටියේය.

බටහිර රටවල් බොහෝ දුරට එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ෆයිසර්-බයෝටෙක් මොඩර්නා ජොන්සන් සහ බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනෙකා වැනි එන්නත් මත යැපුණද,
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනය සමග චීන ඉන්දියානු හා රුසියානු නිෂ්පාදිත එන්නත් කෙරෙහි ලෝක පිළිගැනීම ලැබීමේ කොළ එලි දැන් මතුවෙමින් පවතී.
බොහෝ දියුණු වෙමින් පවතින රටවල් ආසියානු එන්නත් පිහිට මත යැපුණා සේම ඉන් සාර්ථකත්වය මේ වනවිට උරුම කරගෙන ඇති නිසා සියල්ලටම සමාන පිළිගැනීමක් ලැබෙන පසුබිමක් නිර්මාණය වී තිබේ.