anamaduwa-incident

පී.සී.ආර්. පරීක්ෂණයකදී දැඩි වේදනාවක් ඇති වු බවටඋරණ වූ හිමිනමක් එම පරීක්ෂණය කළ හෙදියට එහි තිබූ විදුරු පිඟානකින් පහරදීමෙන් ඇයට බරපතළ තුවාල සිදුව ඇති අතර, සිද්ධිය සමිබන්ධයෙන් හිමිනම ඊයේ (28) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.    මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ ආණමඩුව මූලික  රෝහලේ කොවිඩ් ඒකකයේ රාජකාරිවල නිරත වී සිටි හෙදියක බව පොලිසිය සඳහන් කරයි. උණ හා සෙම් රෝගයක් හේතුවෙන් ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර සිටි ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකගේ පී.සී.ආර්. පරික්ෂණය කරමින් සිටියදී තමන්ට වේදනාවක් ඇති වූ බව පවසමින් හිමිනම අසල තිබූ වීදුරු පිඟානකින් හෙදියට පහරදී ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය  පවසයි.


හිමිනම වීදුරු පිගානින් පහරදීමත් සමග හෙදිය එකවර විලාප දෙමින් බිම ඇද වැටී ඇති   බව කියති. පසුව රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් පැමිණ හෙදිය ප්‍රතිකාර සඳහා රෝහලේ ප්‍රාථමික වෛද්‍ය ඒකකයට යොමු කර ඇත. ඒ සමගම රෝහල් කාර්ය මණ්ඩලය සිද්ධියට සම්බන්ධ  සැකකාර හිමිනම අල්ලා පොලිස් නිලධාරින්ට බාරදී ඇත.  හිමිනම හෙදියට පහර දුන් පිඟාන කුඩා කැබලිවලට කැඩී  ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි. 

ආණමඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි පමිණි අබේරත්න මහත්මිය පැවසුවේ, වීදුරු පිගානකින් පහර කෑ හෙදියන්ගේ හිසට දරුණු ලෙස තුවාල සිදුව  ඇති බවත්, ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලින් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත්ය. අත්අඩංගුවට ගත් හිමිනම ප්‍රශ්න  කිරීම්වලින් අනතුරුව ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.


 - හිරාන් ප්‍රියංකර ජයසිංහ -