නැවත දත්වන තුරු ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තමන්ව නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ  මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට  ඊයේ (7 )වැනිදා දක්වා තිබේ.  ඔහු ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට මහතාට දැනුම් දී ඇතැයිද වර්තා වේ.  තමගේ ඉදිරිය සම්බන්ධයෙන් නිවේදනයක් ඉක්මනින්ම නිකුත් කිරිමට සුදානමින් සිටින බවත් අන්තර්ජාතික පිටියෙන් සමුගැනීම තමන්ගේ අභිප්‍රාය බවත් මැතිව්ස් සිය හිතවතුන්ට පවසා තිබේ. මේ අතර ඊයේ සවස් වන විට දැනගන්නට ලැබුණේ මැතිව්ස් සිය තීරණය සම්බන්ධයෙන් නැවත සිතා බලමින් සිටින බවයි. ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා මෙන්ම මැතිව්ස්ගේ සමීප හිතවතුන්ද ඔහුගේ තීරණය වෙනස් කිරීමට උත්සාහ කරමින් සිටින බවත්‍ දැනගන්නට ඇත.




“ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී සිටින මෙම අසීරු අවස්ථාවේදී කණ්ඩායම අතහැර දමා නොයන්නයි බහුතරයකගේ ඉල්ලීම වී තිබේ. මෙම පිරිස විශේෂ අවධානය යොමුකර ඇත්තේ තවමත් ජාතික කොන්ත්‍රාත්තුව අත්සන් කර නොමැති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද ඇන්ජලෝ මැතිව්ස්ගේ අඩිපාරේ ගියහොත් එය ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට අතිශයින් හානිකර විය හැකි බවයි.එක්දින සහ විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි සේ අසාර්ථක වී ඇති නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාවෙන් සාර්ථක දස්කම් දක්නට ලැබිණ.


එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීමට නියමිතය ඇත්තේ ලබන නොවැම්බරයේදීය. මෙම  එංගලන්ත සහ බංග්ලාදේශ සංචාර සඳහා  තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකු තෝරා නොගැනිණ. එහෙත් බංග්ලාදේශයේදී මුහුණ දුන් දරුණු පරාජයෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් මහතා කීවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඕනෑම අවස්ථාවකදී නැවතත් එක්දින කණ්ඩායමට ඇතුළත් විය හැකි බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ඊටත් වඩා දරුණු  පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා පිල මේ වන විට පිට පිටම විස්සයි-20 අන්තර්ජාතික තරගාවලි 5 කින් පරාජය වී සිටින අතර එක්දින තරගාවලි 3 ක් පිට පිටම පරාජය වී තිබේ.




ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාත් ඇන්ජලෝ මැතිව්ස් තෝරාගන්නා ලද නමුත් නැවත දන්වන තුරු ජාතික කණ්ඩායමේ වගකීම් වලින් තමන් නිදහස් කරන්නයි කී මැතිව්ස් සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් නොකළේය. ඇන්ජලෝ මැතිව්ස් පසුගිය වසර 6ක කාලය තුළදීම ටෙස්ට් සහ එක්දින තරගවලදී ලකුණු 38 කට වැඩි සාමාන්‍යයක් පවත්වාගෙන ගොස් තිබේ. කලව මස්පිඬුවල පවතින ආබාධයක්  හේතුවෙන් වෛද්‍ය උපදේශය වී ඇත්තේ මැතිව්ස්ගෙන් වැඩිපුර පන්දු යවාගැනීමට උත්සාහ කළහොත් පිතිකරුවකු වශයෙන් ඔහුගෙන් ලබාගත හැකි දේත් නොමැති වන බවයි. එබැවින් ටෙස්ට් සහ එක්දින තරගවලදී මැතිව්ස් පන්දු යවන්නේ අවශ්‍යම අවස්ථාවලදී පමණි.


කෙසේ වෙතත් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ ප්‍රතිරෝධී ස්ථාවරයේම මැතිව්ස් ද  සිටියේය. වාර්ෂික කොන්ත්‍රාත් සකස් කරන ලද ක්‍රමවේදය සහ එක් එක් ක්‍රීඩකයන් කාණ්ඩගත කරන ලද ආකාරය සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් යුත් විස්තරයක් අවශ්‍ය යයි කී ජාතික සංචිතයේ 35 ක් පමණ දෙනා වාර්ෂික  ගිවිසුම් අක්සන් නොකළහ. ඔවුන් අතුරින් පිරිසක් එංගලන්ත සංචාරය සඳහා සහභාගි වූයේ සංචාර ගිවිසුම අත්සන් කරමිනි.
(දමින්ද විජේසූරිය)