බාල වයස්කාර අක්කා නගෝ දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට වරදකරු වූ අදාළ දැරියගේ මවගේ අනියම් සැමියාට වසර අනුවක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඊයේ (6) නියම කළේය. වයස අවුරුදු 15ක සහ 12ක වයස්වල පසු වූ සහෝදරියන් දෙදෙනකු වරින් වර, බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා 6කට වරදකරු වූ චූදිතගේ දඬුවම, එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 90ක් එකවර ගෙවී යන ලෙසට අධිකරණය නියම කළේය. ඊට අමතරව, එක් අධිචෝදනාවකට රුපියල් 10,000 බැගින් අධිචෝදනා හයට රුපියල් 60,000ක දඩයක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම්, ඔහුට තවත් වසරක ලිහිල් සිරදඬුවමක් ද නියම කළේය.
වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල නොගෙවන්නේ නම්, විත්තිකරුට තවත් වසර 2ක සිරදඬුවමක් ද නියම කළේය. විත්තිකරු සමාජගතව සිට අධිකරණයට පැමිණ ඇති බැවින්, ඔහු දින 14ක කාලයක් නිරෝධායනය කර, සිරගත කරන ලෙසට ද විනිසුරුවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. මෙසේ දඬුවම් නියම වූයේ ගල්කිරියාගම පදිංචි, ලක්ෂපති විදානපතිරණලාගේ වික්ටර් ද මෙල් නමැත්තාටය. විත්තිකරුගේ බරපතළ ලිංගික අතවරයට ගොදුරු වී ඇති වින්දිත දැරියන් දෙදෙනාගෙන් 15 හැවිරිදි දැරිය (අක්කා) පසුව ළමා නිවාසයක සිට පාසල් අධ්‍යාපනය අරඹා, මෙරට නීති විද්‍යාලය දක්වා ගොස්, මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට නීතිඥවරියක ලෙස සේවය කරමින් සිටින බව ද මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේය.
මෙම අපරාධ සිදුකරන අවස්ථාව වනවිට විත්තිකරු 36 වැනි වියෙහි පසුව ඇති අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වනවිට ඔහුගේ වයස අවුරුදු 61කි. විත්තිකරුට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, බාල වයස්කාර එක් දැරියක 15 වැනි වියේ සහ අනෙක් දැරිය 12 වැනි වියෙහි පසු වෙමින්, පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී, ඔවුන්ගේ මවගේ හතරවැනි අනියම් සැමියා වූ මෙම විත්තිකරු දැරියන්ට මෙම අපරාධය සිදුකර ඇති බවයි. වින්දිත මෙම අක්කා නගෝ දෙදෙනාට තවත් දස හැවිරිදි සහෝදරියක සිටින බවත්, ඇය ද තම මවගේ හතරවැනි අනියම් සැමියා වන මෙම විත්තිකරුගේ අතවරවලට ගොදුරු වෙතැයි යන බිය නිසා වින්දිත දැරියන් විත්තිකරුගෙන් සිදුවන ලිංගික හිංසා කලක් ඉවසා දරාගෙන සිට ඇති බව නඩු විභාගයේදී අනාවරණ වූ බවත් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා, විත්තිකරු නිතැතින්ම සැඩපරුෂ පුද්ගලයකු බව සාක්ෂි මගින් තහවුරු වූ බව ද කීවේය.
වින්දිත දැරියන් දෙදෙනාගේ දස හැවිරිදි බාල නැගණිය ද මෙම විත්තිකරු විසින් සිප වැළඳ ගෙන ඇයට ද විවිධ ලිංගික හිංසා සිදුකරනු ලැබ ඇති බව ද නඩු විභාගයේදී හෙළිවිණැයි ද මහාධිකරණ විනිසුරුවරයා පැවැසීය. සුළු පියවරුන්ගෙන් දරුවන්ට සිදුවන වැරැදි මෙරට සමාජයේ බහුලව පවතින බව ද සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා, සමාජයෙන් එල්ල වන නින්දා අපහාස විඳීමට සිදුවීම හේතුවෙන් එම සිද්ධි නීතිය හමුවට නොපැමිණෙන බව ද කීය. අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත්, වයස අවුරුදු 15 සහ 12 වැනි වියෙහි පසුවන දැරියන් දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364 (2) (ඉ) වගන්ති ප්‍රකාරව අධිචෝදනා 6ක් යටතේ වෙන් වෙන්ව නඩු දෙකක් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරනු ලැබ තිබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුපුන් රණසිංහ මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමිල කොලොන්නාරච්චි මහතා පෙනී සිටියේය. දි නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය. මෙම නඩුවේ පසු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර, 2017 වසරේ අප්‍රේල් මස 4 වැනි දින විත්තිකරුට අධිචෝදනා බාරදීමෙන් අනතුරුව එය වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි ධනංජය වෛද්‍යරත්න මහතා, ගල්කිරියාගම මූලික රෝහලේ එවකට වෛද්‍යවරියක ලෙස සේවය කළ වෛද්‍ය ශාන්තිලතා විජේසේකර මහත්මිය, ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු සහ වින්දිත දැරියක ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.
(උපාලි ආනන්ද)
0 Comments