මුලතිව් කල්ලුපාඩු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට කඩා වැදී එහි, පුද්ගලයන් දෙදෙනකුට පහරදී බරපතළ කැපුම් තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් යාපනය "ආවා" කල්ලියේ සාමාජිකයන් හය දෙනකු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි. මෙම පිරිසක් යතුරුපැදි වලින් ඉකුත් 28 වැනි දින රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ප්‍රහාරය එල්ල කර ඇති අතර නිවසේ සිටි දෙදෙනකුට ද තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. ව්‍යාපාරිකයාගේ නිවසේ තිබූ මෝටර් රථයකටද පිරිස ගිනි තබා විනාශකර ඇතැයි දේලිසිය කියයි. මෙම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ පරික්ෂණ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත පවරා තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය යාපනය මනිපායි ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (07) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් හෙළිකරගත් තොරතුරු අනුව සෙසු සැකකරුවන් සිවුදෙනා ඊයේ (08) අලුයම කෝපායි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20-24යන වයස්වල පසුවන්නන් බව ද පොලීසිය පවසයි. ඉන් තිදෙනකුට මීට පෙර සිදුකළ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් නඩු රැසක් ඇති බවත්, සෙසු තිදෙනා ආවා කල්ලියට අලුතින් බඳවා ගත් පිරිසක් බවත් පොලිසියේ උසස් නිලධාරීයෙක් පැවසීය.
මෙම ව්‍යාපාරිකයා විදේශ රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයන් කිහිප දෙනකුගෙන් මුදල් ලබාගෙන රැකියා නොදීම සම්බන්ධයෙන් ආරවුලක් ඇති බවත්, ඔහුට පහර දෙන ලෙසට ආවා කල්ලි ප්‍රධානියකු වන ප්‍රංශයේ වෙසෙන ප්‍රසාද් ජෝයි නමැත්තා දුන් කොන්ත්‍රාත්තුවක් මත සැකකරුවන් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු හෙළි කරගෙන ඇති බවත් එම නිලධාරියා කීවේය. මේ අපරාධය සඳහා සැකකරුවන් භාවිත කළ යතුරුපැදි තුනක් සහ තියුණු ආයුධද පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
(ඉන්දිකා රාමනායක,සිතුම් චතුරංග, ප්‍රදීප් කුමාර)
0 Comments