badurdeen-house-servant-girl-dies

සිරුරට ගිනි ඇවිළි බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක ඊයේ (15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රවින්ද්‍ර ජයසුන්දර මහත්මිය ඉදිරියේ ඊයේ (15 )දැනුම් දුන්නේය.   ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලට ගොස් මියගිය දැරිය නිරික්ෂණය කළාය.  අනතුරුව මහේස්ත්‍රාත්වරිය දැරිය පිළිස්සුම් තුවාල ලත් අමාත්‍ය රීෂාඩ් බදියුදීන් මහතාගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි නිවසට ගොස් ස්ථානීය  පරික්ෂණයක් ද කළාය.  දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසට බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.


මෙසේ මියගොස් ඇත්තේ ඩයගම බරහිර 3 කොටස, ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියකි.
දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.
ඉකුත් 03 වැනිදා සිරුරට ගිණී ඇවිලීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මෙසේ මියගොස් ඇත්තේ ඩයගම බරහිර 3 කොටස, ඩයගම පදිංචි ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාලවයස්කාර දැරියකි.
2004 නොවැම්බර් දොළොස්වැනිදා උපත ලද මෙම දැරිය මෙම නිවසේ මෙහෙකාරකමට ගෙන ඇත්තේ වයස අවුරුදු 15කුත් මාස එකොළහේදීය.
දැරිය මියයන විට වයස අවුරුදු දහසයකුත් මාස අටක් විය.
රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී ගිනි ඇවිලීමක් නිසා මෙම දැරිය රෝහල්ගත කර තිබුණේ ජූලි 03 වැනිදාය.
මෙම සිද්ධිය සම්බන්ධව රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ මව හා පියා, සේවකයෙක් ඇතුළු හත්දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.
සිරුරට ගිනි ඇවිලුණු බව කියන මොහොතේ දැරියගේ ඇඳ අසල තිබී සොයා ගත් භූමිතෙල් බෝතලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය පියවර ගෙන ඇත.වද හිංසා කරමින් බාල වයස්කාර දැරියක් බදුර්දීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ තබා ගැනීම සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත්ව තිබේ.
මෙම පිලිස්සුම් තුවාල කෙසේ සිදුවීද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.