ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ වසර 30ක පමණ කාලයක් සේවය කළ පී.එම්. සමන් හේම කුමාර රියැදුරු මහතා පසුගියදා (28) වැනිදා බස් රථයට දණ ගසා වැඳ සේවයෙන් විශ්‍රාම ගිය සුවිශේෂ අවස්ථාවක් දක්නට ලැබිණි. වසර තිහක කාලයක් තමන් හම්බකරන් කා බිරිඳ සහ දරුවන් තුන්දෙනකු පෝෂණ කළ බස් රථය පිරිසුදු කර එය සරසා බස් රථයට දණ ගසා වැඳ වන්දමාන කර කෘතගුණ දක්වමින් සේවයෙන් විශ්‍රාම යෑමට එම රියදුරු කටයුතු කළේය. සේවා කාලය තුළ බලංගොඩ රාස්සගල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක පාසල් සිසුන් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල රැකියාවලට යන අය මෙන්ම මගී ජනතාව කලට වෙලාවට ආරක්ෂිතව ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරීම නිසා ඔහු සියලු දෙනාගේම කීර්තියට පත්ව සිටියේ රැකියාවට එහා ගිය ජනතාවාදී සේවාවක් කළ රියැදුරකු නිසායි.
සමන් හේම කුමාර රියදුරු මහතා බස් රථයේ යතුරු බලංගොඩ ඩිපෝ කළමනාකාර ධර්මප්‍රිය හරිචන්ද්‍ර මහතා වෙත බාර දුන්නේය. ඔහුගේ වැඩිමහල් පුතණුවන්ද දැනට වසර කිහිපයක සිට බලංගොඩ ඩිපෝර්වේ රියැදුරකු ලෙස සේවය කරන අතර පියා සේවය කළ බස් රථය ඔහුගේ පුතාට සේවය කිරීම සඳහා බාර දීමට ඩිපෝ කළමනාකාර ධර්ම ප්‍රිය හරිචන්ද්‍ර මහතා කටයුතු කළේය. පියා සිදුකළ සේවාව ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ජනතාවට ලබාදීමේ අරමුණෙන් එම බස් රථය පුතුට ලබාදීම සඳහා කටයුතු කළ බවත් පියා ගිය පාරේම පුතාත් ගමන් කරනු ඇතැයි ද ඩිපෝවේ කළමනාකාරු පැවැසීය. සේවයෙන් විශ්‍රාම ගිය සමන් හේම කුමාර මහතාට ඩිපෝවේ කාර්යය මණ්ඩලය එක්ව උපහාර දක්වමින් මුදල් පරිත්‍යාගයක්ද සිදු කළහ.
(සම්පත් ප්‍රියනන්දන හා නාලක ජේ හෙට්ටිආරච්චි)
0 Comments