basil-sunil-economy

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ පළමු  පනතම කළු සල්ලි සුදු කිරීමේ පනතක් බව ජවිපෙ දේශපාලන
මණ්ඩල සභික, හිටපු කෝප් කමිටු සාමාජික  සුනිල් හදුන්නෙත්ති පවසයි.
පසුගිය 20දා ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී  ඔහු මේ බව සඳහන් කළේය.
හදුන්නෙත්ති මහතා එහිදී මෙසේද කීය.

“මේ වනවිට පාර්ලිමේන්තුවට නව මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිවලින් මේ වනවිට හෙළිදරව් නොකළ වත්කම් සහ ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා හෙළිදරව් කරන තැනැත්තන්ට දණ්ඩනයක්
නියම නොකර සහන ලබාදීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් යෝජනා කරන්නේ බිඳ වැටිලා
තියෙන සංචාරක කර්මාන්තය, නැත්නම් වෙනත් කර්මාන්ත නැත්නම් කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා
ඉන්න සාමාන්‍ය ව්‍යවසායකයන් වෙනුවෙන් නෙවෙයි. බැංකු ණය, ලීසිං, ගෙවා ගන්න බැරිව විශාල
අර්බුදයකට ලක්වූ පිරිසකගේ ව්‍යාපාර වැසී යමින් තිබෙනවා. ආණ්ඩුවක් විදිහට යම් සහන ලබාදිය යුත්තේ
මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. නමුත් ආණ්ඩුව මේ පනත ගෙනත් තිබෙන්නේ ඒකට නෙවෙයි.
රටේ පවතින නීතිය අනුව හෙළිදරව් නොකළ, ජනතාවගේ බදු මුදල් වංචා කළ බදු හොරුන්ට, නීතියෙන් කට්ටි
පැනල තියෙන හොර නඩයකට පහසුකම් සලසා  දෙන්න මේ හදන්නේ. මේක කළු සල්ලි සුදු කරන පනතක්.



ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ තමන්ගේ යාළු මිත්‍රයන්ට සහන සලසා දෙන්න. කොවිඩ් බොරදියේ මාළු බාන්න
ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ හොර නඩයට සහන දෙන්න. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා පත්වීමෙන්
පස්සේ විශාල සහන දෙන බව ලන්සා වැනි ඇමැතිවරුන් කීවා. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල්
ඇමැතිවරයා ගේන පළමුවැනි පනත කළු සල්ලි සුදු කරන්න. දෙසැම්බර් 31කට කලින් මේ සල්ලි පාවිච්චි
කරලා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී  ලංකා රජය වෙනුවෙන් මහ
බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර  බිල්පත් සහ බැ¾දුම්කර මිලදී ගන්න පුළුවන්. මේ වංචනික මුදල්වලින්
ලංකාව තුළ දේපළ මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙසැම්බර් 31ට කලින් බැංකු ගිණුම්වල තැන්පත්
කරන්නත් පුළුවන්. මේ සිද්ධ කරන්න යන්නේ 1%ක බද්දක් ආණ්ඩුවට ගෙවලා හොරකම් කළ, වංචා කළ මුදල්
නීත්‍යනුකූල කිරීමයි.  භාණ්ඩාගාරයේ පතුල හිස්වෙලා තියෙන බව ඇත්ත. ඒකට මුවා වෙලා අද සිද්ධ
කරන්න යන්නේ තමන්ගේ ගජ මිත්‍රයන් අයථා මාර්ගවලින් හොයන ලද මුදල්වලට සුජාතභාවයක් ලබා
දෙන්න. දැන් පාර්ලිමේන්තුවට කෙටුම්පතක් හැටියට ඉදිරිපත් කරලා ඉදිරි කාලයේදී සම්මත කරගන්න යන්නේ
එවැනි බරපතළ පනතක්.

හොරකම් කළ සල්ලිවලින් ආණ්ඩුවට ගෙවන්න ඕනෑ 1%යි. මෙකේ තියෙන බරපතළ තත්ත්වය දැනට අයකරගෙන
තිබෙන වැට් බදු නොගෙවා පැහැර හැර තියෙන අයට ලැබෙන විශාල වරදානයයි. ආණ්ඩුවට ලැබෙන්න
ඕනෑ වැට් බද්ද හැටියට 8%ක් සහ දඩ මුදල් හැටියට අවම වශයෙන් 2%ක් අහිමිවෙනවා. ඒ කියන්නේ
10%ක් ආණ්ඩුවට ලැබෙන්න ඕන මුදලින් ලැබෙන්නේ 1%යි. ආදායම් මත තමන් අත්පත් කරගත්ත දේපළ මත
නීතිය හමුවට ගෙනගොස් දඬුවම් ලබන්න ඕනෑ අය ආණ්ඩුවට 1%ක පගාවක් දීලා බේරෙන්න නීතියක් මේ ගෙනත් තියෙන්නේ. මේකට අපූරු නාමයක් හදනවා. “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද” කියලා. ඇත්තටම මේක ආණ්ඩුවට දෙන පගා බද්දක්.

කළු සල්ලි සුදු කර ගන්න ගෙනත් තියෙන පනත මේ ආකාරයට විවිධ උපක්‍රමවලින් හංගලා තියෙන්නේ.


පවතින නීතිය යටතේ හෙළිදරව් කළ යුතු දේවල් පාර්ලිමේන්තු මේ පනත් මඟින් වහනවා නම් ඩේසි ආච්චිගේ
මැණික් මල්ල වගේ වටේ යන්න ඕනෑ නැහැ.

ආණ්ඩුවේ සෞභාග්‍යයේ ක්‍රමය මේක. මේ විදිහට ආයෝජන දිරිමත් වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ
ආර්ථිකයක් හැදෙන්නේ නැහැ. කළු සල්ලි සුදු කිරීම විතරයි වෙන්නේ. අර්ථ නිරූපණවලදී ශ්‍රී  ලංකාවේ
යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්පත් කරගන්න කියලා නැවත විදේශවල තිබෙන චංචල හෝ නිශ්චල
දේපළක් අයිති බව සඳහන් කරනවා.

මේකේ බරපතළ තත්ත්වය වෙන්නේ රජයට නොගෙවා පැහැරහැර තිබෙන සියලුම් වත්කම් සහ ආදායම් බදු
අඩු තරමින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේවත් නිරාවරණය කරගන්න බැහැ. මේකෙන් දිරි ගන්වන්නේ
හොරකම. මේ හරහා අයථා මාර්ගවලින් මුදල් ඉපැයීම දිරි ගන්වන්නේ.

අවුරුදු 15ක විතර දැරියක් සමූහ දූෂණයකට ලක්කරලා තියෙනවා. මේකට ගෑවිච්ච අය සමාජයේ ඉහළම
තලයන් නියෝජනය කරන අය බව සමාජ මාධ්‍යවල වාර්තා වෙනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ
ඇමැතිවරයෙක්ගේ ගෙදරක බාල වයස්කාර දැරියක්ව පිලිස්සීමකට ලක් කරලා මිය යනවා. මේ පිළිබඳව
ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කරන්න ඕනෑ. මේ දේවල් සමාජයෙන් තුරන් කිරීම අපේ වගකීම. මේ
ආකාරයට දූෂණයට ලක්වන, මරා දාන තත්ත්වයට ලක්වන තරම් කුණු වෙලා තියෙන සමාජ දේහයට තිත
තියෙන්න ඕනෑ. කිළිනොච්චියේ විද්‍යා දැරිය වෙන්න පුළුවන්, සමූහ දූෂණයට ලක්වෙච්ච අහිංසක දැරිය
වෙන්න පුළුවන්, පිලිස්සී මියගිය දැරිය වෙන්න පුළුවන්. මේ හැම දෙනාම වෙනුවෙන් ඒ මොහොතේදී
සමාජයක් හැටියට හැමෝම කම්පනයකට ලක් වෙනවා. විරෝධතාව දක්වනවා. හැබැයි ස්ථිරසාර විස¾දුමක්
ලබාදෙන්න මැදිහත් වෙන්නේ නැහැ. ස්ථිර විස¾දුමක් ලබාදෙන්න හැකි වෙන්නේ පවතින මේ පාලන
තන්ත්‍රයෙන් නම් නොවෙයි. පාලනයට අනුග්‍රහ දක්වන්නෙ මේ චූදිතයෝ. ඔවුන් නීතියෙන් ගැලවිලා යනවා.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර සවිස්තරාත්මක වාර්තාවක් විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. සමාජයක් හැටියට එයින් එහාට ගිහිල්ලා මේ පිළිබඳව පුළුල්
සංවාදයක් ඇතිවී මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ.”


අනුරාධා හේරත්