battaramulla-protest

අද  දින පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සූදානම් කර තිබූ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව  උද්ඝෝෂණයක නියැලුණු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරන ලදි.


ලංකා ගුරු සංගමයේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වටරවුම අසල පැවති උද්ඝෝෂණයේදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කළ බව දක්වමින් ගුරු මාතාවන් භික්ෂූන් ඇතුළු අය අත් කකුල් වලින් ඔසවාගෙන ඇදගෙන ගොස් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන වාහන වලට නංවාගෙන රැගෙන ගිය ආකාරය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විවේචනයන්ට ලක්වෙමින් පවතී.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඔවුන්ට රු. 25,000 බැගින් ශරීර ඇප ලබා දීමට නියම කර තිබේ.
පොලිසිය විසින් ඔවුන් හට නිරෝධායනය නීති උල්ලංඝනය කිරීම නිසා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ ඒ සඳහා තමන් ට බලතල නොමැති බවයි.
කෙසේ නමුත් ක්‍රියාකාරීන් බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා රැගෙන යාම සිදුවූයේ නොනිල දඩුවමක් පරිද්දෙනි. මේ හේතුවෙන් ඇප ලබාදුන් අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොසන්සුන්කාරී තත්වයක් හටගත් බව වාර්තා විය


සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති වරයා පවසා සිටියේ විවේචන හා අසමත්වීම් විඳ දරා ගැනීමට නොහැකිව තම බලය අයුතු ලෙස යොදා ගනිමින් මිලිටරි ක්‍රමවේදයකින් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට දරන උත්සාහය හෙළා දකින බවයි.
පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස වෙනම පිහිටුවන්නට සූදානම් කර පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සූදානම් කර තිබූ කොතලාවල විශ්ව විද්‍යාල පනත අද දින විවාදයට නොගෙන කල් දමන ලදි.