ලැම්ඩා ප්‍රභේදය ආසාදනය වූ කොරෝනා රෝගීන් කිසිවකුත් මෙරටින් මේ දක්වා හමුවී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.කෙසේ වෙතත්, මේ වයිරසය මේ වනවිට රටවල් ගණනාවක පැතිර ඇති හෙයින්, එම රටවල් හරහා එය මෙරටට පැමිණීමේ හැකියාවක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය. 

ලැම්ඩා ප්‍රභේදය, අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබ ඇතැයි පැවසූ ජීවන්දර මහතා මේ ප්‍රභේදය මෙතෙක් රැදී තිබුණේ ඇමරිකාව ආශ්‍රිත කලාපයේ යැයි ද කීවේය. ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙසේද පැවසීය.“අපගේ පරික්ෂණ අංශයේ පරික්ෂණවලට අනුව කිසිම ලැම්ඩා රෝගියකු මේ දක්වා හමුවෙලා නැහැ. මේ ප්‍රභේදය මේ දක්වා රැදිලා තිබුණේ දකුණු ඇමරිකාව ආශ්‍රිතවයි.

බ්‍රසීලයේ ප්‍රභේදයවත් අපේ ලංකාවේ වාර්තා වුණේ නැහැ. මේ රෝගීන් හමුවන කලාපය සමග අප රට ලොකු සම්බන්ධවීමක් වෙන්නේ නැහැ. මේ නිසා අවදානම අඩුයි. දැන් මේ රෝගීන් දකුණු ඇමරිකානු රටවලට අමතරව එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ඊශ්‍රායලය ආදී රටවලත් වාර්තා වෙනවා. ඒ නිසා එවැනි රටවල සංචාරකයන් හරහා රෝගීන් පැමිණීමේ හැකියාවක් තියෙනවා.

නමුත් අපි මේ ගැන බියවිය යුතු නැහැ. මේ රෝගයේ ලක්ෂණ තවමත් හරි හැටි හඳුනාගෙන නැහැ. දැනට ලෝකයේ ප්‍රධාන ප්‍රභේද ලෙස හඳුන්වන්නේ ඇල්ෆා, ඩෙල්ටා, බීටා, ගැමා යන ප්‍රභේද පමණයි.” යැයි ද ඔහු කීවේය.

(සුජීත් හේවාජුලිගේ)