A cave monastery complex believed to have been built in the 1st century BC is found in Wellawaya.

වසර දෙදහසකට වඩා ඉපැරණි ඉතිහාසයකට නෑකම් කියන ක්‍රිස්තුපූර්ව පළමුවැනි සිවසසේ ඉදි කළා යයි සැලකෙන ලෙන් ආරාම සංකීර්ණයක් පිළිබද තොරතුරු වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙහෙරයාය හා ආඳවෙලයාය ග්‍රාම සේවා වසම් සීමාව අතර පිහිටි කිරීමැටි ආර කදෙන් හමුවී තිබේ.


විනෝදයට කදේ නැගි එම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් මෙම ලෙන් සංකීර්ණය මුලින්ම දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් ඔවුන් මෙම ගම්මානයේ පදිංචි කැලණි විශ්වවිදයාලයේ පශ්චාත් පුරාවිද්‍යා උපාධි ආයතනයේ පුරාවිද්‍යා පර්යේෂකයකු ලෙස කටයුතු කළ හා බුදුරුවාගල විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරන රුවන් දිසානායක මහතාට කළ දැනුම් දීමකට අනුව ඔහු විසින් සිදු කළ ගවේෂණයකින් පසු මෙම තොරතුරු අනාවරණය වී තිබේ.



මෙම ස්ථානය ආශ්‍රිතව ලෙන් හතක් දක්නට ලැබෙන අතර ඒ සියල්ලගේම කටාරම් කපා තිබේ. ස්ථාන තුනක සෙල්ලිපි දක්නට ලැබෙන අතර ඒවා ක්‍රිස්තු පූර්ව පළමුවැනි තුන්වැනි හා සිවුවැනි සියවස්වලට අයත් වන බව පැවසේ. ඒ අනුව එම ස්ථානය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට මාධ්‍යවේදීන් පිරිසක් සමග ඉකුත් දා අප එම ප්‍රදේශයට ගිය අතර එහිදී අදහස් දක්වමින් පුරාවිද්‍යා ගවේෂක රුවන් දිසානායක මහතා මෙසේ පැවසීය.

"මේ ස්ථානය ගල් ලෙන් සංකීර්ණයකින් යුත් විහාර සංකීර්ණයක්. කාලනිර්ණය අනුව ක්‍රිස්තුපූර්ව පළමු සියවසටත් ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවස අතර කාලයේ පැවති සමාජ ආර්ථික ආගමික තොරතුරු විශාල ප්‍රමාණයක් හඳුනා ගත හැකි වෙනවා. මෙම ලෙන් සංකීර්ණයේ අපට හමුවන විශාලම ලෙන වෙනවා. එහි දිගින් අඩි හැටක් පලලින් අඩි 15-20ක පමණ වෙනවා ආරාමික භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි සෙල් ලිපියක් මෙම ස්ථානයෙන් හමු වෙනවා. ඒ ලිපියට අනුව ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවස හෝ ඒ ආසන්න කාලයක ලියවුණු අක්ෂර රටාවක් තමයි එහි දක්නට ලැබෙන්නේ.

බොහෝ කොටස් මැකී ගිහින් පළමු අකුරු හතර පැහැදිලිව හඳුනාගත හැකියි. පරුමක කියන අකුරු එහි සඳහන් වෙනවා.පරුමකවරු කියන්නේ පූර්ව ඓතිහාසික යුගයේ රාජ්‍යයත්වය ආරම්භ වූ කාලවකවානුවේ මෙරටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වූ ප්‍රාදේශීය දේශපාලන නායකයන් පිරිසක්. මොවුන්ට දේශපාලන බලයක් තිබුණා ඒ වගෙම ආර්ථික ශක්තියක් තිබුණි. පරුමකවරුන් විසින් පූජා කළ ගල්ලෙනක් තමයි මෙම ස්ථානයේ දකින්නට ලබන්නේ. මේ ස්ථානයට නුදුරින් තවත් ලෙන් කිහිපයක් හමුවෙනවා. ඒලෙනක තවත් සෙල්ලිපි දෙකක දක්නට ලැබෙනවා. එහි සදහන් වෙන්නේ පසුකාලීනව විශේෂයෙන්ම ක්‍රිස්තුපූර්ව තුන්වැනි හා හතරවැනි සියවස්වල ලියවුණු සෙල්ලිපි ඒවායේ දක්නට ලැබෙනවා. මේ ස්ථානයෙන් අපට භික්ෂූන් වහන්සේලාට පූජා කළ බවට සිතිය හැකි මැටි බදුන්වල කොටස් හමු වුණා. මෙය පාත්‍රයක කොටසක් වෙන්න පුළුවන්. කොටසක් ජලය පිරවූ නැත්නම් ආහාර ද්‍රව්‍ය ගබඩා කළ මැටි බදුනක කොටසක් විය හැකියි. කෙසේ නමුත් මතුපිටින් මෙවැනි රටාවක් සහිත හැඩතල දකින්නට ලැබීම බොහොම විශේෂත්වයක් විදිහට දකින්න පුළුවන්.

(වැල්ලවාය - අයි.ආර්.ඉන්දික)