ගාල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වලදී සිදු වන මරණ කෝවිඩ් ආසාදිත බව තහවුරුවීමේ ප්‍රවණතාව යළි වැඩි වී තිබෙන බැවින් නිවෙස්වල මියයන පුද්ගලයන් සෑම කෙනෙකුගේම සිරුරු පී.සී.ආර්. පක්ෂණ සඳහා යොමු කළ යුතුයැයි රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා මහතා පැවසීය.  ඔහු මේ බව කියා සිටියේ පසුගිය දින කිහිපයේදී කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයට ලැබුණු, නිවෙස්වල සිදු වූ මරණ බොහොමයක් කෝවිඩ් ආසාදිත බව තහවුරු වීම පිළිබද අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා, " කෝවිඩ් වසංගතය යළි සෑම ස්ථානයකම පැතිරයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. එවැනි අවස්ථාවකදී කෝවිඩ් නිසා නිවෙස්වල සිටින වයස්ගත සහ රෝගී පුද්ගලයන් මියයනවා. නමුත් ඇතැම් ග්‍රාම නිලධාරීන් සහ මරණ පරීක්ෂකවරු එම සිරුරු පීසීආර් පරීක්ෂණ සඳහා යොමු නොකර නිදහස් කරනවා.

එය වරදක් බව අපට දැන් පෙනෙනවා.වයස්ගතව රෝගීව සිට නිවෙස්වල මියයන පුද්ගලයන් පී.සී.ආර්. පරික්ෂණවලින් කෝවිඩ් ආසාදිත බව තහවුරු වෙනවා. ඉන් පැහැදිලියි නිවෙස්වල මියයන පුද්ගලයන් සෑම කෙනෙකුගේම සිරුරු පී.සී.ආර්. පක්ෂණ සඳහා යොමු කළ යුතු බව. නැතිනම් කෝවිඩ් වසංගතය පාලනය කිරීමේ ගැටලු ඇතිවනවා. මියගිය පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් තමයි නිවසේ ඉන්නේ. අවමංගල්‍යයට එන සියලු දෙනාට ඔවුන්ගෙන් කෝවිඩ් ආසාදනය වීමට හැකියි.පසුගිය ඉරිදා (25)දා දිනයේ පමණක් රෝහලේ අධිකරණ අංශයට ලැබුණු කෝවිඩ් ආසාදිත බව තහවුරු කරගත් මළසිරුරු 08ක් සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර තිබු අතර ඉන් ත්මරණ 04ක් නිවෙස්වල මියගිය පුද්ගලයන්ගේ මරණයි.පෙරේදා (28දා, රෝහලට ලැබුණු කෝවිඩ් ආසාදිත බව.

තහවුරු වූ සිරුරු 5කින් තුනක්ම නිශ්චල සිදුවූ ඒවායි. කෝවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ සිරුරු 04ක් ඊයේ (29)දා පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කළ අතර ඒ අතරින් ද. මරණ 02ක් සිදුව ඇ ත්තේ නිවෙස්වලදීයි.” යැයිද පවසා සිටියේය. නිවෙස්වල දී ම මියගොස් ඊයේ (29)දා කෝවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත්තේ යක්කලමුල්ලේ පදිංචි 22 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ රත්ගම පදිංචි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කෝවිඩ් ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ මාපලගම  පදිංචි 59 හැවිරිදි පිරීමි පුද්ගලයකු මියගොස් ඇත.

(ගාල්ල සීරංගිකා ලොකුකරවිට)