ගුවන් හමුදාව විසින් ස්ථාපිත කෙරුණ “ස්කයි පෙට්" සත්ව රෝහල ජනාධිපති බිරිඳ අනෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල ගුවන්පුර කඳවුර පරිශ්‍රයේදී පසුගියදා වීවෘත කෙරිණි.  

ගුවන් හමුදා “ස්කයි පෙට්" සත්ව රෝහල  සුනඛයන් සහ බළලුන් සඳහා විශේෂ  අවධානයක් යොමුකරමින් නවීන තාක්ෂණයට අනුව ස්ථාපිත කර ඇති බවත් මෙය ත්‍රිවිධ හමුදාව සතු එකම සත්ව රෝහල බවත් ගුවන් හමුදාව පවසයි.  ගුවන් හමුදා විශේෂ පුහුණුව ලබා ගුවන් හමුදා අභ්‍යන්තර ආරක්ෂක රාජකාරිවල මෙන්ම,

ජාත්‍යන්තර ගුවන්තොටුපලවල ආරක්ෂක රාජකාරි, මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ රාජකාරි සඳහා සුවිශේෂී පුහුණුවක් ලබා ඇති ගුවන් සුනඛ ඒකකයේ සුනඛයින්ගේ සත්කාර කටයුතු සඳහා මූලිකවම කටයුතු සිදුකරනු ලබන බවත් ජනතාවගේ සුරතලුන් වෙනුවෙන් ඉතා සහනදායී මිල ගණන් යටතේ මෙම  ස්ථානයේ සේවා ලබාගැනීමට හැකි බවද ගුවන් හමුදාව සඳහන් කරයි.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරන මැතිනිය ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරිහු පිරිසක් සහභාගි වූහ. “ස්කයි පෙට්" සත්ව රෝහලේ 0113144447සහ 0112 495800 යන අංක මහජනතාව සඳහා විවෘතව ඇත.