පවතින කොවිඩ් වසංගත සෞඛ්‍ය නීතිරිතිවලට අනුගත වෙමින් ශ්‍රී දළදා සමිඳුන්ට පුජෝපහාර පිණිස වාර්ෂික දළදා පෙරහර  පවත්වන්නට කටයුතු යොදා ඇතත් ඇසළ පෙරහර ජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දෙනවාද? නැද්ද? යැයි මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පෙරහර කමිටු රැස්වීමේ දී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා (9 වැනිදා) පැවැසීය.  මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනු නාහිමිපාණන් වහන්සේත් මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා ප්‍රමුඛ බස්නායක නිළමේවරුන් ආරක්ෂක අංශ ප්‍රධානීන් රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මහනුවර ඇසළ පෙරහර කමිටුව මෙම රැවීම කැඳවා තිබිණි. මෙහිදී විශේෂ අනුශාසනාවක් කළ දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියෝ මෙසේ පැවසූහ.


ලොවම කොවිඩ් වසංගතයට ගොදුරු වී තිබෙන අවස්ථාවක සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් ඉහළින්ම පිළිපදිමින් මෙවරත් දළදා  පෙරහර පැවැත්වීමට අප සැමට සිදුව තිබෙනවා. මිනිස්සු පාරේ වැටිලා මැරෙන යුගයක අපි කොහොම ද ලෝකයාට පේන්න පෙරහර කරන්නේ. කෙසේ වෙතත් සෞඛ්‍ය නීතිවලට මුල්තැන දෙමින් ආරක්ෂා වි පෙරහර කළ යුතුමයි.  මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා අදහස්  දක්වමින් මෙසේ කීය.




වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී දළදා සමිඳුන් උදෙසා කරන පූජෝපහාරයක් වශයෙන් සෞඛ්‍ය උපදෙස් මත පෙරහර පවත්වන්නට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා මෙසේ කීය. අවදානමක් සහ අභියෝගයක් සමගයි මෙවර පෙරහර කරන්න සිදුවී තිබෙන්නේ.පුද්ගලයන් 23 083 කට වයිරසය ශරීරගත වී ඇත්තේ කොවිඩ් තෙවන රැලෙන් මහනුවර දිස්ත්‍රික්ක තුළ රෝගීන් වැඩියි. මධ්‍යම පළාතේ කොවිච් මරණ 762 යි. එයින් 498 ක්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මරණයි. අභියෝග මැද ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පෙරහර පැවැත්විය යුතුමයි.


මහජනතාව විශාල ලෙස ඒකරාශී නොවන පරිදි පෙරහර පැවැත්වීමට සිදුව තිබෙනවා. පවතින තත්වය යටතේ මහජනතාවට පෙරහර බලන්න ඉඩදීම ඉතාමත් භයානකයි. මේ වසංගත තත්ත්වය ගැන අවධානය යොමුකළ යුතුයි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් හා අවසර ලබාගෙන පෙරහර පැවැත්වීම සුදුසුය.  මහනුවර දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.


එන්නත්කරණය යම් මට්ටමක පැවැතියත් මරණ අඩු වුව ද රෝගය පැතිරීම පාලනය කරගන්න බැරි බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා විශේෂඥයන් පවසනවා. ලක්ෂ 28 ක් වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව අතරින්  කොවිඩ් එන්නත ලබා දී ඇත්තේ ඉතාම සුළු පිරිසකටයි. පිරිස්  විශාල වශයෙන් ඒකරාශි වීමෙන් රෝගය පැතිරෙනවා.ඩෙල්ටා ප්‍රභේන්දය පැතිරීමටත් ඉඩ තිබෙනවා. ජන සමූහ ඒකරාශි වුණොත් මේ වසංගත තත්ත්වයට යළිත් උදාවේවි. මහජනතාව විවෘත නොවන පරිදි පෙරහර පැවැත්විය යුතු බවට අපි යෝජනා කරනවා.   මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා පෙරහර කමිටු රැස්වීමේ දී අදහස් දක්වමින්.  




පෙරහර මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් පැවැත්වුවහොත් සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ පරික්ෂාවට ලක් කිරීමට සිදුවනවා. පිට ප්‍රදේශවලින් පෙරහර රාජකාරි සඳහා පොලිස් නිලධාරින් ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් මධ්‍යම පළාතෙන් පොලිස් නිලධාරින් යෙදවීමට සිදුවනවා.  නගරයේ අධික ලෙස රැස්වී සිටින යාචකයන් හා අයාලේ යන්නන් ද විශාල බාධාවක් වී ඇති බවත් ඔවුන් රිදීගම යාචක කඳවුරට බාර නොගන්නා බවත් ඔවුන් සඳහා විධිමත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත රත්නායක මහතා මෙහි දී වැඩිදුරටත් කීය.


 බස්නායක නිලමේවරුන් වන මහෙන් රත්වත්තේ (විෂ්ණු දේවාලය) ගැමුණු වලිසුන්දර (කතරගම දේවාලය), හේමන්ත බණ්ඩාර හේරත් (පත්තිනි දේවාලය) ගයාන් හීන්කෙන්ද (ශ්‍රී නාථ දේවාලය), මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්, ශ්‍රී දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂි ක්‍රිෂාන්ත හිස්සැල්ල මහතා ඇතුළු පිරිසක් පෙරහර සංවිධාන කමිටු රැස්වීමට සහභාගි වූහ.

(කේ එල් ජයසිංහ, සිසිර කුමාර ජයසිංහ)