‘මහ බැංකු වංචාව වගේ ගුණයක අධිවේගී මාර්ග වංචාවක ආණ්ඩුව නිරත වී සිටින බව" සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී පැවසීය. රටට ලාබදායි සහ වාසිදායක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන මාර්ගය ඉදිකිරිමෙන් ජනතාවගේ මුදල් බිලියන ගණනින් කොමිස් ගැසීමට සැරසෙන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රණවක මහතා මෙසේද පැවැසීය.
අප සෑහෙන කාලයක් මහන්සි වෙලා රටට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෙනාවා. ඒ වගේම තවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති තුනක් පිළිබඳ ශක්‍යතා අධ්‍යයන සහ සැලසුම් අවසන් කළා. ජනාධිපති බලයට පත්වෙච්ච වහාම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියත් බන්දු මහතා කිවේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අධික වියදම් සහිත ව්‍යාපෘතියක් බවයි. ඒ ව්‍යාපෘතියට වඩා ඉතාම අඩුවෙන් මාර්ග තදබදය විසඳෙන ව්‍යාපෘතියක් ගෙන එන බවට ඔහු ප්‍රකාශ කළා. රට තවදුරටත් විදේශවලට ණය කරන්න බැහැ. ඒ නිසා ජපන් ණය ආධාරය අප ඉවත් කරනවා කියන ප්‍රකාශය ජනාධිපති ලේකම්වරයාත් කළා. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කියන්නේ ගුවනින් යන්න පාරක්ම නොවෙයි. ඒකට දුම්රිය කට්ටල, ඒවා ගාල් කර තබන ස්ථාන, සංඥා පද්ධතිය, නැවතුම් ස්ථාන නිර්මාණය කළ යුතුව තිබෙනවා.
මේ සියල්ලටම මුල් අවස්ථාවේ යන වියදම ඩොලර් මිලියන එක් දහස් 1374 යි.
එහෙත් අතිරේක වියදම් තිබෙනවා. කඩුවෙල සිට පාර්ලිමේන්තු මං සන්ධිය දක්වා පාර මංතීරු හතරේ මාර්ගයක් බවට පරිවර්තනය කරන්න. අප සැලසුම් කළා. මේ සඳහා ඉඩම් අත්පත් කරගන්න අවශ්‍යයි. ඒ වගේම දෙපස තිබෙන විදුලි පද්ධතිය, සංඥා පද්ධතිය, ජල පද්ධතිය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම මුදලේ අගය ඉහළ යනවා. වැට් එක ගෙවන්න තිබෙනවා. බලාපොරොත්තු නොවන අනතුරු වගේ වියදම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උපදේශන සේවා අනිවාර්යයෙන් ගත යුතුයි. සියල්ලටම ඩොලර් මිලියන අටසිය හතළිස් අටක් වැය වෙන බව ප්‍රකාශ කළා. එහෙත් මුළු ගාන වෙච්ච ඩොලර් මිලියන2222 ක ප්‍රමාණය ඩොලර් මිලියන 1900 කට අඩුකර ගත හැකි බව මේ සම්බන්ධයෙන් කළ විධිමත් අධ්‍යයනයකින් අපට තහවුරු වුණා. වැට් එක අඩු කළාට පසු ඒක තවත් අඩු වෙනවා.
ආණ්ඩුව මෙම ව්‍යාපෘතියට වඩා අතිශයින්ම ලාබදායි විසඳුම දෙනවා කිව්වා. ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් හදන්න කිව්වා. අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර් 19 යි. මේ කිලෝමීටර් 19 ට යන මුදල කැබිනට් පත්‍රිකාවක් මගින් තීරණය කර තිබෙනවා. අවුරුදු පහළොවක් ඇතුළත වැය බර අදාළ විදේශීය කොන්ත්‍රාත් සමාගමට ගෙවන්න ඕනෑ. ඒ අනුව වසරකට ඩොලර් මිලියන 108 බැගින් වසර පහළොවක කාලයක් ඩොලර් මිලියන එක් දහස් හයසිය විස්සක් ගෙවන්න වෙනවා. ඩොලර් මිලියන එක් දහස් තුන්සිය හතරක ව්‍යාපෘති අයින් කර තමයි, අද මේ ව්‍යාපෘතිය ගෙනල්ලා තිබෙන්නේ.
අප ගෙනාපු ව්‍යාපෘතියට අවුරුදු 15 ක් තඹ දොයිතුවක්වත් ගෙවන්න නැහැ. ඒ සඳහා ගන්නා පොළිය සීයට දශම එකයි. ඒ වගේම ව්‍යාපෘති ජපන් තාක්ෂණය, ජපන් ආයෝජනය මත වනවා. ව්‍යාපෘතිය ඉවත දමා ඩොලර් මිලියන එක්දහස් හයසිය විස්සකට සිවිල් ඉංජිනේරුමය ව්‍යාපෘතියක් අද කරන්න යනවා. අපේ රජය තරගකාරි ටෙන්ඩර් කැඳවා ඉගුරුකඩේ හන්දියේ ඉඳන් චෛත්‍යය පාරට ඔය විදියටම මංතීරු හතරකින් යුත් මාර්ගයක් ඉදිකරන්න ගියා. කිලෝ මීටර් 5.5 ක දිගකින් යුත් මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීම සඳහා අපට වැය වුණේ ඩොලර් මිලියන 25ක් වැනි මුදලක්. ඒ අනුව කිලෝ මීටර් 19 ට වැය විය යුතු මුදල ඩොලර් මිලියන 475 යි. මෙය ඩොලර් බිලියන 475 ණය ගෙවනවා වෙනුවට ඩොලර් මිලියන එක් දහස් හයසිය විස්සක් ගෙවන්න යනවා. එනම් ඒ වගේ හතර ගුණයක් අවුරුදු පහළොවක් තිස්සේ ගෙවන්න යනවා.
අපේ ගණන් හදා බැලීම්වලට අනුව මෙහි පොලී අනුපාතය 23% ක්. සියයට දශම එකේ ණය අත හැර රට තවදුරටත් ණය කරන්නේ නැහැ කියලා සියයට 23% පොළියට විදේශීය සමාගමකට මෙය දීලා. ඩොලර් මිලියන 475 ට හදන්න පුළුවන් එක ඩොලර් මිලියන එක්දහස් හයසිය විස්සක හදා මහ දවාලේ මහා මංකොල්ලයක් අධිවේගී මාර්ගය හරහා මේ ආණ්ඩුව කරලා තිබෙනවා. මේක දරුණුම ගනයේ මහා මංකොල්ලයක්. .අද රටට ඩොලර් නැහැ. ඒත් ජපන් ව්‍යාපෘතිය තිබේ නම් ඩොලර් මිලියන සිය ගණනක මුදලක් රටට ඇදීගෙන එනවා.
ඒ වගේම ණය ගෙවන්න තිබෙන්නේ අවුරුදු පහළොවකින්. එතන ඉඳගෙන තවත් අවුරුදු 25 ක් තිබෙනවා. අවුරුදු පහළොවකින් මෙය ලාබ උපයන තත්ත්වයට ගෙන ඒමටයි අප සැලසුම් කර තිබුණේ. අවුරුදු 15 ටම ජනතාව කිසිදු බරක් නැති ව්‍යාපෘතියක් නවත්වා ඩොලර් මිලියන එකසිය අට ගානේ කිසිම ආකාරයකින් මාර්ග තදබදය විසඳනේ නැති ව්‍යාපෘතියක් ගෙනල්ලා අද මහා මංකොල්ලයක් ආණ්ඩුව කරලා.
ඒ වගේම විදේශීය සමාගමටම චෛත්‍ය පාරේ සිට කොල්ලුපිටියට තවත් මාර්ගයක් ඉදිකිරිම සඳහා ඩොලර් මිලියන 456 ක ගිවිසුම අත්සන් කරන්න යන බව අපට දැන ගන්න ලැබෙනවා. අපේ අමාත්‍යංශයේ මාර්ග සංවර්ධන අධිකාරිය එකතු වෙලා මේ පාර හදන්න ගණන් බැලුවා. අපට ආවේ ඩොලර් මිලියන 150 කට ආසන්න මුදලක්. දැන් ඒක ඩොලර් මිලියන හාරසිය පනස් හයකට දෙන්න යනවා. මේ දෙකෙන්ම විදේශීය සමාගමට ලැබෙන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 1, 500 යි. මේක තමයි මේ අය කරන මහා මකොල්ලය. මේ බැඳුම්කර මංකොල්ලය වගේ විසි ගුණයක මංකොල්ලයක්. අදටත් ඩොලර් නැතුව අපේ ජනතාව දුක් විඳිනවා. මේක සාහසික ජාතික අපරාධයක්.
-නිමල කොඩිතුවක්කු-
0 Comments