chilaw-incident-sanath-nishantha

හලාවත කුරූනැගල පාරේ සේද වත්ත හංදියේ දි දෙපාර්ශවයක් අතර මතුවූ ගැටුමකින් පසු තුවාල ලද දෙදෙනෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට  පසුගිය 11දා ඇතුළත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හලාවත නගරාධිපති තුෂාන් අබේසේකර (සජබ) හා ඔහුගේ අයියාවන ඉෂාන් චතුරංග අබේසේකර අත් අඩංගුවට ගෙන තිබුණි.
අයුතු ජන රාශිය, ලක්ෂ පහකට වැඩි වටිනාකමකින් යුත් රන් මාලයක් කඩා ගැනීම හා පහර දීම ඇතුළු චෝදනා කිහිපයකට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

රාත්‍රි කාලයේ දි අධිවේගයෙන් සේදවත්ත ප්‍රදේශයේ තරුණයන් පිරිසක් යතුරු පැදි ධාවනය කරවිම සම්බන්ධයෙන් කලක සිට දෙපාර්ශවයක් අතර ගැටුමක්  තිබී ඇති අතර හලාවත නගරාධිපති නගර සභාවේ රථයකින් එම ස්ථානයට පැමිණ තිබූ බවද වාර්තා විය.
 සභාපතිවරයා හා ප්‍රදේශයේ තරුණයන් අතර බහින්බස්වීමක් ඇතිවී එය ගැටුමක් බවට පත්ව තිබේ.
නගරාධිපතිවරයාද තමන්ට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් පහර දුන් බවට පැමිණිල්ලක් කර තිබූ අතර  නගරාධිපති හා අයියාව නගර සභාවේ රථයක් සමග අත් අඩංගුවට ගත් බවත් කියයි.


එම සිදුවීමට මැදිහත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කර තිබුනේ හලාවත නගර සභාවේ සභාපතිවරයා තරුණයින් පිරිසකට පහරදී පළා යන බවට ලද තොරතුරක් මත ඔහු පසුපස ගොස් හලාවත නගරයේ දී ඔහුගේ වාහනය වටකර පොලීසිය දැනුවත් කර ඔවුන් පොලීසියට භාරදීමට තමන් කටයුතු කළ බවකි.
හලාවත නගර සභාවේ සභාපතිවරයා පසුගිය නගර සබා මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදි ජය ගත් අතර පසුව ඔහු ඇතුළු ජයගත් පිරිස සමගි ජන බලවේගයට සම්බන්ධවී තිබුණි.
පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.
පහරකෑමට ලක්වූ බව කියන තරුණයින් දෙදෙනා හලාවත මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
මෙම ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශවයට වහාම පැමිණ පොලිසියට බාර වන ලෙස දැනුම් දුන් අතර අත් අඩංගුවට ගත් රථය නගර සභාව වෙත මුදා හැරිමට පියවර ගත් බවත් පොලිසිය කියයි.
නගරාධිපති අත්අඩංගුවට පත්වූ සිදුවීම නගර සභාවේ සභාපතිවරයා ගමන්ගත් වාහනයේ සිටි පුද්ගලයෙකු පටිගත කර තිබුණි. එම පටිගත කිරීම සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අතර එහිදී පෙන්වා දෙන්නේ රාජ්‍ය ඇමතිවරයා මැදිහත්වී මග හරස් කර සිටි අයුරුය. නගරාධිපතිවරයා අත්අඩංගුවට පත්කිරීමට රාජ්‍ය ඇමති අනුබල දුන් බව එහි සටහන් විය.
හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.