dambulla-incident

නම් හතරකින් සහ ලිපිනයන් තුනකින් පොලිසිය නොමග යවමින් පෙනී සිටි පුද්ගලයකු සැකපිට ඉකුත් 10 වැනිදා පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

අධිකරණ කිහිපයකින් විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටින බවට දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතාට ලද තොරතුරක් මත දඹුල්ල පොලිසියේ දූෂණ  මර්දන අංශයේ නිලධාරින් කණ්ඩායමක් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද විවෘත වරෙන්තු ලබා ඇතැයි පොලිසිය කියයි.



ඒ අනුව මෙම පුද්ගලයා නාඋල්ල පොලිස් බලප්‍රදේශයේ ඇළහැර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, තවත් අවස්ථාවක මහව පොලිස් බල ප්‍රදේශයේ පන්වැව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත්, තවත් අවස්ථාවක දඹුල්ල හීමොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය සහ අධිකරණය නොමඟ යවමින් අන් අයකු ලෙස පෙනී සිට ඇති බව ප්‍රකාශ ලබාගැනීමේදී හෙළි වූ බව පොලිසිය සඳහන් කර සිටී. මත්කුඩු, හෙරොයින් සිද්ධීන්වලට අත්අඩංගුවට ගැනීම් කෙරුණ අවස්ථාවල මෙම සැකකරු නම් හතරකින් පෙනී සිට ඇති බවත් පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ. තිස්තුන් හැවිරිදි සැකකාර තරුණයා මහව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

සැකකරු දැඩි ලෙස හෙරොයින් මන්ද්‍රව්‍යවලට ඇබැහි වූ පුද්ගලයකු බවත් පොලිසිය කියයි. ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාව හෙළි කරගැනීමට නොහැකි ආකාරයෙන් දිවයින්නේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් මත්කුඩු අලෙවි කිරීම සහ පානය කිරිම සඳහා විවිධ උපක්‍රමශීලී කටයුතුවල නිරතවන්නනකු බවත් පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ. දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඊ.ජී.ආර්. ඇල්ළේපොළ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වන අතර,අදාළ සැකකරු ඊයේ 11 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)