අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාත්තා වැසිකිළියේ සී.සී.ටී.වී. කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයා එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස අනුරාධපුර පූර්වගාමි ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය. 

මෙම සැකකාර වෛද්‍යවරයා නිදොස්ට නිදහස් කෙරුණේ ඔහුට එරෙහිව පැමිණිලි පාර්ශ්වය නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීමට අසමත්ව ඇති බවට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිගමනය කරමිනි.  සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මීට පෙර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.




ඒ මෙම වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් අවැසි  සාක්ෂි ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත් නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබූ නීති උපදෙස් අනුවය. සැකකාර වෛද්‍යවරයා විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියේ සවී කර තිබු බව කියන, පසුව පොලිස් බාරයට ගත් සී.සී.ටී.වී. කැමරාවේ දත්ත කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ හදිසි ප්‍රතිචාර සංසදයේ මෙහෙයුම් කළමනාකරුට යවා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට කැඳවන්නැයි මීට පෙර අධිකරණය පොලිසියට නියෝග කර තිබූ අතර එකී නියෝගයට අනුව අදාළ වාර්තාද පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.  මෙසේ නිදොස් කොට නිදහස් කර මුදා හැරියේ කටුබැද්ද,  රෝලි ප්‍රනාන්දු මාවත්තේ දිනූෂ විජේවර්ධන නැමැති 27 හැවිරිදි විවාහක වෛද්‍යවරයෙකි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 30 වැනිදා වාට්ටුවේ සේවය කරමින් සිටියදී මෙම වරද සිදු කර ඇති බවට චෝදනා කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මගින් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.




සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මුල් බී වාර්තාව මගින් කියා සිටියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළියක කිසිවකු සී.සී.ටී.වී. කැමරාවක් සවි කර ඇති බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් යොමු කළ බවයි.  පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ලවෙද්‍යවරයා අනුරාධපුර රෝහල් පොලිසිය මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට බාර වු බවද අධිකරණයට කියා සිටි පොලිසිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටී.වී. කැමරාවක් සවි කර තිබු අයුරු තමන් දුටු බව පවසමින් එම රෝහලේ ගිණුම් අංශයේ නිලධාරිනියක ද පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවද කීවේය.