නිදහසේ කතා කිරීමට තමාට නිදහස ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටින බවත්, ආණ්ඩුවේ සිට ආණ්ඩුව විවේචනය කළ නොහැකි වුවද, තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බවත් ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනි ගීතා කුමාරසිංහ මහත්මිය පෙරේදා (27) පැවසුවාය. ඉඳුරුවේ පැවැති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වූ කුමාරසිංහ මහත්මිය මෙසේද කීවාය.
"ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේක අවස්ථාවක් නෙමෙයි. රට නාසය ළඟටම ගිලි තියෙන අවස්ථාවක ඉල්ලිම් දිනා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ..එකට අවස්ථාව නෙමෙයි. ගුරුවරුන්ට ප්රශ්න ඇති. මේ අවස්ථාවේදී වැටුප් වැඩියෙන් ඉල්ලීම සධාරණ නැහැ. මේ අවස්ථාව මග හැරුණාට පස්සේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මමත් එනවා. මමත් ගුරුවරුන් සමග අනිවාර්යයෙන්ම එකට සිට ගන්නවා.
පොහොර ප්රශ්නයේදී මට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ.එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කියාවි මම ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කළා කියලා. ඒ නිසා ඒ පැත්තට කතා කළොත් ගොවියෝ මාත් එක්ක තරහවේවි.
ගොවියන්ගේ පැත්ත අරගෙන කතා කළොත් ජනාධිපතිතුමා ඇතුළු රජයේ මැති ඇමැත්තෝ කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා. අනේ එ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා. මම හැම තිස්සේම සධාරණය වෙනුවෙන් හිටගන්න ගැහැනියක්.මට කවුරු අකටයුතුකම් කළත් පේන්න නැහැ.
අද දවසේ ගෙවී යන හැම තත්පරයක් ගානේම ළමා අපචාර සිදු වෙනවා. මේක අද ඊයේ පටන් සිද්ධවුණු දෙයක් නෙමෙයි. මේ ළමා අපචාරවලට සම්බන්ධ අයට දැඩි දඬුවම් දෙන්න ඕනෑ කගෙවන් තරාතිරම නොබලා. ළමා අපචාරයට යොදවා ගන්නා අයට දඬුවම් ලබා නොදුන්නොත් රටේ ළමා පරපුරට දෙවියන්ගේම පිහිටයි.” යැයි ද ඇය කිවාය.
-එම්. සුසිල් ප්රියන්ත-
0 Comments