private-bus

ලබන අගෝස්තු 15 වැනිදා වන විට බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සියලු දුර හා කොන්දොස්තරවරුන් කොරෝනා මර්දන එන්නත ලබාගතයුතු බවත් එදින වන විට එන්නත ලබා නොගත් කිසිදු කොන්දොස්තරවරයකුට බස් වල සේවය කිරීමට ඉඩනොදෙන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 





කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීමත් සෞඛ්‍ය නීති පිළිපැදීමේත් අරමුණෙන් වගකිවයුතු සංගමයක් ලෙස මෙම පියවර ගත් බවත් පැවසු ඔහු ඒ අනුව එන්නත ලබාගෙන සිටින රියැදුරන් හා කොන්දොස්තරවරුන් ලබන 9 වැනිදා සිට පරික්ෂාවට ලක්කරන ලෙස සංගමය බස්නාහිර පළාතේ ප්‍රවාහන බලධාරීන්ට දැනුම් දෙන බවද කීය. දැනට පළාතේ බස් සේවයෙන් 50000 ක් පමණ සිටින බවත් පැවසූ ගැමුණු මහතා ඔවුන්ගෙන් සියයට 50 ක් පමණ එන්නත ලබාගෙන ඇතැයිද සඳහන් කළේය.

මේ අතර පිටපළාත්වල සිට බස්නාහිර පළාතට ධාවනය වන පෞද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුද ලබන අගෝස්තු 30 වැනිදා වන විට එන්නත ලබාගෙන සිටිය යුතු බවද ඔහු කීය. එසේම බස්වලට ගොඩවීමට අවසර ලැබෙන්නේ කොරෝනා මර්දන එන්නත් ලබාගත් මගීන්ට පමණක් බවත් එන්නත ලබාගත් මගීන් සහ බස් සේවකයන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස සංගමය ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
 (මහින්ද නිශ්ශංක)