gl-peris-education
පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පළමු පියවර ලබන අගෝස්තු මාසයේ දීතැබිමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (12) පැවැසීය. 

අධ්‍යාපනය අවුරුද්දක් නැති වුණොත් ඒ පාඩුව සදාකාලිකව පියවා ගත නොහැකි බව කී අමාත්‍යවරයා, පාසල් දිගින් දිගටම වසා තැබීමේ හැකියාවක් නැතැයි ද සඳහන් කළේය. එබැවින්, මුළු රටම විවෘත කිරීමේ කොටසක් ලෙස පාසල් විවෘත කිරීමටත් පියවර ගන්නා බව කී අමාත්‍යවරයා, එම කාර්යය පියවරෙන් පියවර සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව සිදුකරන බව ද කීවේය. දිවයින පුරා පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී ඊයේ (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.




කොළඹ කලාපයට අයත් සියලුම ගුරුවරුත් එන්නත් කිරීම ඊයේ දිනයේ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී ඇමැතිවරයා, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට ද අද (13) දිනයේ දී මෙම වැඩසටහන සම්පූර්ණ කරන බව ද කීවේය.  ගුරුවරුන්ට එන්නත් ලබාදීම ඉදිරි දෙසතියක කාලයේත් සිදු කෙරෙන අතර, මෙම කාලයේදී අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජනය කරන 2,79,000කට එන්නත් ලබාදීමට නියමිතය. රට පුරා ගුරුවරුන් 2,42,000ක් සිටින බව කී ඇමැතිවරයා, දැනටමත් ගුරුවරුන් වැඩි පිරිසකට එන්නත ලබා දී අවසන් බව පැවැසීය.  රටේ පවතින තත්වය අනුව මාර්ගගත  අධ්‍යාපනය (ඔන්ලයින්) කළ යුතු දෙයක් වුවත්, එය පන්ති කාමරයේ ඉගැන්වීමට සතුටුදායක විකල්පයක් යැයි තමා නොසිතන බව ද ප්‍රකාශ කළේය.


 දුරස්ථ හෝ මාර්ගගත අධ්‍යාපනයේ යම් යම් දෝෂ ඇතැයි කී ඇමැතිවරයා, පාසල් දිගින් දිගටම වසා තැබීමට නොහැකි බව ද කීව්වේය.  වැටුප් විෂමතා, වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු  කිරීම ආදී කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු - විදුහල්පති සංගම් කිහිපයක් මාර්ගගත ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී තිබීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව එහිදී අදහස් දක්වමින් ඇමැතිවරයා පැවැසුවේ, ඇතැම් ගුරුවරුන් පමණක් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී ඇති බවය.  යුද හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.