පසුගිය දිනවල පිටකොටුවේ ස්වර්ණාභරණ අලෙවි සලකට ඇතුළුවී එහි සේවකයින් නොමග යන ලෙස කතාවට අල්ලාගෙන හීන් සීරුවේ දැරියක ලවා රන් බඩු කොල්ලකෑමේ නිරතවූ 5 දෙනෙකුගෙන් යුතු පිරිස ගැන සීසීටීවී වීඩියෝවක් පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
මෙම කල්ලිය සංවිධානාත්මක ලෙස දැරිය ලවා රන්බඩු සොරකම් කරවන බවත් හදිසියේ සාප්පුවේ කෙනෙකු එය දුටුවොත් කුඩා දරුවෙකුට සිදුවූ වැරදීමක් ලෙස පෙන්වා ඉන් ලිස්සා යන බවටත් තොරතුරු වාර්තාවී තිබුණ අතර ඔවුන් වැඩි වශයෙන් හැමවිට විවෘතව තැබෙන ආරක්ෂක නිලධාරීන් නැති කුඩා ස්වර්ණාභරණ අලෙවි සල් සිය ජාවාරම සඳහා ඉලක්ක කරගෙන තිබූ බවද හෙළි විය.
තැබුණ තොරතුරු ඔස්සේ එකී කල්ලිය මරදාන ආමර්වීදියේදී පොලිසියට කොටු කරගන්නට සමත්ව ඇති අතර සොරකම සිදුකළ පිරිස ගැන වැඩිවිස්තරද හෙලිව ඇත.
වයස අවුරුදු 6ක දැරියක් යොදාගෙන රන්බඩු හල්වලින් රන්බඩු සොරා ගැනීමේ යෙදුණු කල්ලියට එම දැරිය එම දැරියගේ මව ඇයගේ මාස 4ක දරුවා දැරියගේ මිත්තනිය සහ තවත් පුද්ගලයකු ද සිටින බව පොලිසිය පවසයි. රන්බඩු මිල දී ගැනීමේ මුවාවෙන් රන්බඩු හල්වලට ඇතුළුවන මොවුන්ගෙන් මව සහ මීත්තණිය රන්බඩු තෝරන අතරේ අනෙක් පුද්ගලයාගේ උදව්වෙන් සය හැවිරිදි දැරිය එහි ප්‍රදර්ශනයට තබා ඇති රන්බඩු සොරා ගන්නා බව පොලිසිය පවසයි. රන්බඩු මෙසේ සොරා ගැනීම සඳහා දැරිය පුහුණු කර ඇත්තේ ඇගේ මව සහ මිත්තනිය බව ද හෙළිවී ඇත.
මෙම කල්ලියට අයත් වයෝවෘද්ධ පුද්ගලයා අබාධිතයකු බවත් ඔහු දවසේ කුලියට මොවුන් සමග සම්බන්ධ වී සොරකම්වලට හවුල් වී ඇති බව පොලිසිය පවසයි. සය හැවිරිදි දැරිය පිරිසේ සෙසු අයගේ උපකාරයෙන් රන්බඩු හල්වල රන්බඩු සොරා ගන්නා අයුරු දැක්වෙන දර්ශන පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ අතර ආසන්නතම සොරකම ඉකුත් 23 වැනි දින පිටකොටුව හෙටීවිදියේ දී වාර්තා විය. පිටකොටුව, මඩකලපුව, එරාවුර්, අනුරාධපුරය, ගාල්ල, දිගන, කිරුළපන, කුරුණෑගල පොලිස් ස්ථානවල මොවුන්ට එරෙහිව පැමිණිලි රැසක් ඇති බව හෙළිව ඇත.
මොවුන් සංවිධානාත්මකව දිවයිනේ තැන තැන කුලී නිවාසවල රැදී සිටිමින් රන් භාණ්ඩ සොරකමේ යෙදී ඇති බවටත් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇති අතර මේ දක්වා ලක්ෂ 15කට අධික බඩු සොරාගෙන ඇත.
පිටකොටුව අලෙවිසැලකින් රන්භාණ්ඩ සොරා ගන්නා දර්ශන CCTV
0 Comments