මේ ආකාරයට එන්නත්කරණ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන ගියහොත්, ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.
 


අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “99 වන ජාත්‍යන්තර සමූපකාර දින” සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩ කොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය.



ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබා ගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබා දීමට සමූපකාරයට මැදිහත් විය හැකි බව ජනාධිපතිවරයා මෙම උත්සවයේදී පෙන්වා දුන්නේය.

එමගින් විවෘත ආර්ථිකය සමග කඩා වැටුණු සමූපකාර ව්‍යාපාරය නගා සිටුවීමටත් ආපදා අවස්ථාවකදී විශාල සමාජයීය කාර්ය භාරයක් ඉටු කිරීමටත් හැකියි.

රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන් සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බව ද ජනාධිපතිතවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙයි.

ලොව පුරා රටවල් 112 ක සමූපකාර ව්‍යාපාරය ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා “ජාත්‍යන්තර සමූපකාර දිනය” ලෙස නම් කර තිබෙයි.