homagama-incident

කෝවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් පැය කිහිපයකට පසු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.කෙසේ වෙතත් එන්නත හා මරණය අතර සම්බන්ධයක් ඇතිදැයි තවම නිශ්චය කර නැත.

හෝමාගම පිටිපන දකුණ, රිදීමුදල, පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙම පුද්ගලයා, පෙරේදා 6 වැනිදා අලුයම පහයි තිහට පමණ කෝවිඩ් මර්දන වෙනුවෙන් ලබා දෙන එන්නත ලබා ගැනීමට පනාගොඩ යුදහමුදා කදවුර ඉදිරිපිට පිහිටි ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයට ගොස් එහිදී ලබා දුන් සයිනොෆාම් එන්නත ලබා නැවත නිවසට පැමිණ ඇතැයි පැවසේ.
මේ බව රැකියාවට ගොස් සිටි ඔහුගේ බිරිදට එදින පස්වරු 1.00 ට පමණ දුරකථනයෙන් අමතා දන්වා ඇතැයිද පැවසේ.මේ අතර පස්වරු 2.00 ට පමණ අසල්වාසියෙකු දුරකථන ඇමතුමක් දී බිරිදට දන්වා ඇත්තේ , සැමියා අසනීප තත්වයකින් පසුවන බැවින් වහා නිවසට පැමිණෙන ලෙසයි.සිද්ධිය වන අවස්ථාවේදී නිවසේ මෙම පුද්ගලයා පමණක් නිවසේ සිට ඇති අතර බිරිද නිවසට පැමිණීමේදී, සැමියා බත්පතද අතැතිව කුස්සියේ බිම වැටී සිට ඇතැයි පැවසේ. පසුව මෙම සිදුවීම පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට, ස්ථානීය පරීක්ෂණය සදහා හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩී.එච්.කේ. චින්තක උදයකුමාර මහතා කැඳවූ බව පොලිසිය පවසයි.පසුව එම ස්ථානයට පැමිණි හදිසි මරණ පරික්ෂකවරයා ස්ථානීය පරික්ෂණය සිදුකොට,

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළේය.ප්‍රතිඵලය ලැබීමෙන් පසුව (08දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත පො.ස අශෝක මහතා නිලධාරිහු පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වති.

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)