ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය තෙවතාවක් හෙබවූ හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ සිටී. සමරසිංහ මහතා ඊයේ (30) එම ධුරයේ වැඩ බාරගත්තේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගුවන්විදුලි සංස්ථාවට පත්වූ හත් වැනි සභාපතිවරයා වන්නේ හඩ්සන් සමරසිංහ මහතාය. ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වෙනස් කර තිබේ.
නව පත්වීම් ලිපිය ලැබීමෙන් පසු හඩ්සන් සමරසිංහ මහතා පෙරේදා (29 වැනිදා) සවස ගුවන්විදුලියට පැමිණ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එහි භාණ්ඩ අතුරුදන්වීමක් ගැන සැලකිලිමත්වී තිබේ.
‘‘ගුවන්විදුලිය කියන්නේ මෙරට පෞරාණික වස්තුවක්. එහි තිබූ වටිනා බඩු රැසක් නැතිවී ඇති බවයි ආරංචි. ඒවා අති පෞරාණික වස්තූන්. නැතිවෙච්ච ඇතැම් උපකරණ තරුණයන් හතළිහකටවත් උස්සන් යන්න බැරි ඒවා. යෝධයෝ ගෙනැත් අරන් ගියාද? කියා හිතෙනවා. කවුරු මොනවා කීවත්, කළත් මොන බාධක ආවත් මම මේවා ගැන සොයා බලා අදාළ පරීක්ෂණ සිදුකරනවා. මම කිසි කෙනෙකුට බය නෑ.
සුනිල් ශාන්ත, ආචාර්ය පණ්ඩිත් අමරදේව වැන්නන් ගීත හැදූ, වාදනය කළ පියානෝ නැතිවෙලා. මේවා සංස්ථාව සතුව තිබූ කෞතුක වස්තු. මේවා ගැන සොයා බැලිය යුතුයි. බලාගෙන ගියාම සංස්ථාවට අපෙන් පස්සේ විටින් විට ඇවිත් තියෙන්නේ පල් හොරු ටිකක්. මේක ටිකක් සොයා බලා සුද්ද කර ගත යුතුයි. මේවායේ විමර්ශන වංචා විමර්ශන අංශයටත් භාරදෙන්න මම ක්රියාකරනවා.
යළිත් වතාවක් සභාපති ධුරය සඳහා පත්වීම පිළිබඳ කළ විමසුමේදී හඩ්සන් සමරසිංහ මහතා කියා සිටියේ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තමා ජීවත් වූ ගෙදර හා සමාන බවත් නව තනතුරේ වැඩ භාරගැනීමත් සමග කරන පළමු කාර්යය ලෙස තම ගුවන්විදුලියේ අතුරුදන්ව ඇති වටිනා බඩු සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවයි.
හඩ්සන් සමරසිංහ මහතා මින් ඉහත ගුවන් විදුලි සභාපති ධූරය 2007-2014 කාලයේ දැරුවේය.
එය ලබන්නට පෙර වැඩ කළේ රනිල් සොයුරු ශාන් වික්රමසිංහගේ ටීඑන්එල් ඉසිර නාලිකාවේය. ඔහු එහිදී උදෑසන වැඩ සටහනකින් එවක මහින්ද රජය දැඩි විවේචනයට ලක්කරමින් සිටියදී එක්වරම සභාපති පුටුව ලද පසු එතැනට ගොස් එම රජයේ ගුණ ගායනා කළේය.
ඊයේ නව පත්වීම ලබන්නට පෙර ඔහු වී එෆ් එම් ගුවන්විදුලියේ උදෑසන වැඩසටහනක් ඉදිරිපත් කරමින් සිටියේය. පසුගිය 2020 නොවැම්බර් මාසයේ ජනපති ගෝඨාභයට එරෙහිව විවේචනයක්ද කළ අතර එය අන්තර්ජාලය තුළ කතාබහට ලක්විය.
ඔහු එම අවස්ථාවේ කියා සිටියේ කොරෝනාවට මුලින්ම ඇඳිරි නීතිය පනවා තිබියදී මිරිහානේ වඩේ විකුණන අය අපහසුවෙන් සිටින නිසා රට යළි විවෘත කළ යුතු බවට ජනපති කියා සිටි කතාවට කිසිවෙකු විරුද්ධ නොවීම ගැනය. හැමෝම යස් සර් කියන බව ඔහුගේ විවේචනය විය.
අන්තර්ජාලයේ සැරිසැරූ එම කතාව පහතින්
‘
0 Comments