ඉංගිරිය දීපාලෝක විහාරවාසී ලුණුගම්වෙහෙර සුනීත හිමියන් ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර  ඇප තුනක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත් චානිකා විජයබණ්ඩාර මහත්මිය නියෝග කළාය.  ඉංගිරිය දීපාලෝක විහාරස්ථානයේ විහාරාධිපති මුදුන්කොටුවේ ශාන්තසිරී  (72) නමැති චීවරධාරියෙකු මෙලෙස ඇප මත මුදා හැරීණි.

එම ඇප භික්ෂු ඇප එකක් සහ ගිහි අප දෙකක් විය යුතු බව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයට බලපෑම් නොකරන ලෙසත් එලෙස සිදු කළොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියම කළාය. තමන් ඝාතනය කිරීමට සැකකාර විහාරාධිපති හිමියන් සැලසුම් කර ඇති බවත් ඒ සඳහා මේ වනවිට විහාරාධිපති හිමියන්ගේ රියැදුරාට, රුපියල් ලක්ෂ 11ක මුදලක් ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමින් විහාරවාසී හිමිනම විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පානදුර කොට්ඨාස පැමිණිල්ලක් අනුව පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර විහාරාධිපති හිමියන් අත්අඩංගුවට ගෙන තිබිණි,

ඒ අනුව විහාරාධිපති හිමියන්ගේ රියදුරා පෙරේදා (07)දා අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී ඒ බව තහවුරුවීමෙන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරිමේදී සැකකාර විහාරාධිපති අවස්ථා කීපයකදී රුපියල් ලක්ෂ 15ක මුදලින් රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකාර රියදුරාට ලබාදී තිබූ බවට අනාවරණය කරගැනීමට පොලිසියට හැකි විය.



සැකකාර රියැදුරා එම මුදලින් මිලදී ගත්රන් භාණ්ඩ හා අනෙකුත් දේපළ සොයා ගැනීම සදහා විමර්ශන සිදුකරන බවත් එම සැකකරු සහ පැලවත්ත පොඩි නමති සැකකරු අද (09දා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)