kosgoda-grand-father-withkids-dies-drawn-river

කොස්ගොඩ දුවේමෝදර ගඟේ නාපේ ප්‍රදේශයේ තොටුපොළකින් දිය නෑමට ගිය එකම පවුලේ සය හැවිරිදි නිවුන් පිරිමි දරුවන් දෙදෙනකු හා ඔවුන්ගේ සීයා දියේ ගිලී පෙරේදා (10) වැනිදා දහවල් මියගිය බව කොස්ගොඩ පොලිසිය කියයි.  මියගොස් ඇත්තේ ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබන සය හැවිරිදි සකික සස්විදු කන්දඋඩ හා සමික සස්විදු කන්දඋඩ යන ගාල්ල දඩල්ලේ පදිංචි නිවුන් සොයුරන් හා 



ඔවුන්ගේ සීයා වන කොස්ගොඩ නාපේ අගම්පොඩි ඉන්දික රාජකුමාර නමැති හැට දෙහැවිරිදි තැනැත්තෙකු බව ද පොලිසිය කියයි.මියගිය නිවුන් සොහොයුරන් දෙදෙනා මේ වසරේ (2021) ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයේ එක වසරට ඇතුළත් වූ සිසුන් දෙදෙනකු බව ද පොලිසිය කියයි.

කොවිඩ්-19 ව්‍යසනයත් සමග ලැබුණු පාසල් නිවාඩුව නිසා ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පදිංචි මේ නිවුන් සොයුරන් දෙදෙනා සිය මවගේ මහගෙදර පිහිටි කොස්ගොඩ නාපේ ප්‍රදේශයට පැමිණ සිටියදී මෙසේ මියගොස් ඇතැයි  පොලිසිය කියයි.  මේ දෙදෙනා ගඟේ දිය නෑමට දැඩි කැමැත්තක් දක්වන හෙයින් ඔවුන්ගේ මවගේ පියා සමග නිවෙස පිටුපස ඇති ගගේ නෑමට ගොස් ඇති බවත් පොලිසිය කියයි.  ඔවුන්ගේ සීයාට ඔරු පැදීමට මෙන්ම පිහිනීමට ද මනා හැකියාවක් ඇති බවත් සීයා දූවේමෝදර ගඟට දරුවන් දෙදෙනා සමග ඔරුවකින් ගොස් ගඟට බැස ඔරුව අල්ලාගෙන දිය නාමින් සිටියදී දරුවන් දෙදෙනාට ඔරුව අත හැරි ගගේ ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය ද සඳහන් කරයි. ඔවුන් දෙදෙනා බේරාගැනීමට ගිය සීයා ද දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.


මේ තිදෙනා දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ පෙරේදා (10) පස්වරු 12.30ට බවත් පැවැසූ පොලිසිය, ප්‍රදේශවාසීන් ගඟට බැස ඔවුන් තිදෙනාම සෙවූ නමුත් හමුනොවීම නිසා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් ගෙන ඒමට සිදුවූ බවත් පොලිසිය කියයි.  නාවික හමුදා පිහිනුම් කණ්ඩායම මේ තිදෙනාගේ  සිරුරු පෙරේදා (10) පස්වරු 4ට පමණ ගොඩගත් බවත්  පොලිසිය කියයි. දියේ ගිලී මියගිය මේ තිදෙනාගේ සිරුරු මරණ පරික්ෂණ කටයුතු සඳහා බලපිටිය මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් ඔවුන් තිදෙනා වෙනුවෙන් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව මරණ පරික්ෂණය සිදු කරන බව ද පොලිසිය කියයි.

(එම්.සුසිල් ප්‍රියන්ත හා හේමන්ත ද සිල්වා)